SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය ගැන තවමත් සැළකිල්ලක් නැහැ – සම්බන්‍ධන්

යුද්දය අවසන්වී වසර 8ක් ගතවූ නමුත් අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්ණය කෙරෙහි අවධානය යොමු නොවූ තත්වයක් පවතින බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

අතුරුදන් කිරීමෙන් පීඩාවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකදී සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් පීඩාවට පත්වූ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රටේ ජීවත් වෙනවා. පසුගිය වසර කිහිපයක් තිස්සේ අතුරුදන් කිරීමෙන් පීඩාවට පත්වූ ජනතාව රටේ විවිද ප්‍රදේශවල විශේෂයෙන් උතුර නැගෙනහිර පළාත්වල සාමකාමී ලෙස උද්ඝෝෂණ රැසක් පවත්වා තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම ඥාතීන්, හිතවතුන්ට සිඳුවුයේ කුමක් ද යන සත්‍යතාවය සොයා බැලිය යුතු බවය. ආයුධ අරගලය අවසන්වී වසර අටක් ගත වූ නමුත් අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය කෙරෙහි මෙතෙක් නිසි අවධානයක් යොමු කර නැති තත්වයක් පවතිනවා.

මේ සම්බන්‍ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අපි ඉල්ලා සිටින අතර, හමුදාව වෙත තමන් විසින් භාරදුන් පුද්ගලයන්ට නැතිනම් පැහැරගෙන ගිය, අතුරුදන් කළ පුද්ගලයන්ට සිඳුවුයේ කුමක්ද යන සත්‍යතාවය ජනතාවට ලබාදිය යුතු යැයි සම්බන්‍ධන් මහතා සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.