SRILANKAN NEWS

ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමති සහ කොරියානු ක්‍රීඩා ඇමැති අතර හමුවක්

කොරියානු ජන රජයේ ආරාධනාවකට අනුව පසුගියදා තෙදින නිල සංචාරයක යෙදුණු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා කොරියානු ජනරජයේ ක්‍රීඩා, සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබද අමාත්‍ය  ඩෝ ජොන්වැන් (Do Jongwhan)මහතා හමුවිය.

එහිදී මෙරට ක්‍රීඩාව නගා සිටුවීම සදහා කොරියානු රජයෙන් ලැබෙන දායකයත්වය පිළිබද ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු විය. විශේෂයෙන්ම 2014 වසරේදී ශ්‍රී ලංකා ජන රජය හා කොරියානු ජන රජය අතර ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම මෙහිදී තවදුරටත් ශක්තිමත් කිරීමට පුළුල්ව සාකච්ඡා කෙරිණි.

ජාතික ක්‍රීඩා විද්‍ය ආයතනයේ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් කොරියානු රජයේ සහාය ලබා ගැනීමට මෙන්ම ඉදිරි කාලයේදී මෙරට තයිකොන්ඩෝ ආත්මාරක්ෂක සටන් කලා පුහුණුව ඇතුළු සංස්කෘතික හා කලා කටයුතු වෙනුවෙන් කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබදවත්, මෙරට තෙයිකොන්ඩෝ ආත්මාරක්ෂක සටන් කලාව, දුනු විදීම සහ බේස්බෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා වැඩි දියුණු කිරීමටද අවශ්‍ය පියවර ගැනීම පිළිබවද සාකච්ඡා කෙරිණි.

මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික තයිකොන්ඩෝ කණ්ඩායමට කොරියානු ජාතික පුහුණුකරුවෙකුගේ සහාය ලැබී ඇති අතර ඉදිරි කාලයේදී පැවැත්වෙන ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ඔලිම්පික් තරග ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික තයිකොන්ඩෝ කණ්ඩායමට අවශ්‍ය පුහුණු හා තාක්ෂණික සහාය ලබා දීමටත්, තයිකොන්ඩෝ ක්‍රීඩාව මෙරට ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීමටත් එකගතාව පල විය. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ආචාර්‍යවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ දැනුම හා දක්ෂතා ඉහල නැංවීමට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීමට මෙහිදී කොරියානු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කටයුතු කරන බව පැවසීය.

ශ්‍රී ලංකාව හා කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී මේ වන විට වසර 40 ක් ගෙවී ඇත. ගරු ඩෝ ජොන් වෑන් මහතා පසුගිය ජූනි මාසයේ සිට එරට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වී ඇති අතර ඔහු කොරියාවේ 50 වෙනි ක්‍රීඩා අමාත්‍යවරයායි.