ARTICLES SRILANKAN NEWS

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය – වසර 16ක්! යුක්තිය නැතිව!!!! අපි තවදුරටත් ශිෂ්ඨ සමාජයක්ද?

නිමලරාජන්මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 16ක් සැපිරුණි.

2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ ‘රාවය‘ පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටියේ ය. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරෑ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි.

එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.
කෙසේ නමුත් නිමලරාජන් මාධ්‍යවේදියා ඝාතනය කොට හමාරය. පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් වල පරීක්ෂණයන් මෙන්, මෙම ඝාතනය පිළිබදව ද වසර 16ක් ගත වුව ද, මාධ්‍යවේදී ප්‍ර‍ගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව ඇති හමුදානිළධාරීන් සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද සිදුවන පරීක්ෂණ හැර, කිසිදු හෙළිදරව්වක් නිළ වශයෙන් අනාවරණය කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ.

මේ කෙටි සටහන නිමලරාජන් ඝාතනයේ ‘පරීක්ෂණ‘ පිළිබදව සොයා බැලීමක්වත් එහි ගවේෂණයක්වත් නොවේ. පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්‍යට එල්ලකරන ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට, 2015 ජනවාරි 8වෙනිදා පත් වූ නව ආණ්ඩුවට කෙරෙන බල කිරීමකි. එය එසේ වන්නේ ලංකාවේ පුරවැසියන් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන ලද්දේ එතෙක් පැවති අයුක්තියට – යුක්තිය බලාපොරොත්තුවෙන්ය. අසාධාරණයට – සාධාරණය බලාපොරොත්තුවෙන්ය. එය ඉටුකිරීමට යහපාලනයට නොහැකි වුවහොත් රාජපක්ෂ ආණ්ඩුවට අත්වූ ඉරණමම යහපාලනයට ද අත්වෙනු ඇති බැවිනි. එය ජනවාරි 8වනදා යුක්තිය ඉල්ලා සිටි පුරවැසියන්ගේ අපේක්ෂාව නොවේ. නමුත් අද වන විට ජනාධිපතිවරයාගේ සිට ඇතැම් මංත්‍රීවරුන්, ඇමතිවරුන් දක්වා සිදු කරන ප්‍රකාශ දෙස බැලීමේදී රාජපක්ෂගේ අවතාරයන් ‘යහපාලනය‘ තුළද හොල්මන් කරන බවක් පෙනෙන්නට තිබේ. එය පැහැදිලිවම ප්‍රකාශ වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් වන ගෝඨාබය රාජපක්ෂ නීතිය හමුවට ගෙන ඒමේදී සිරිසේන ජනාධිපතිවරයා විසින් දැක්වූ ප්‍රතිචාරයයි. ඇතැමුන්ට එය සාමන්‍යකරනය වුවත් ගෝඨාබය සහ රාජපක්ෂලා යනු 2015 ජනවාරියට පෙර ලංකාවේ මාධ්‍ය මර්දනයට සෘජුවම වගකිව යුත්තෝ බව නොදන්නේ කවරෙක්ද?

එබැවින් දැන් තත්ත්වය පුරවැසි සමාජයට මෙන්ම ජනමාධ්‍යට යුක්තිය ලබාගැනීමේ ක්‍රියාවලියට ඒතරම් ගුණදායක නොවන බවක් පෙනෙන්නට තිබේ. නමුත් මේ තත්ත්වය පුරවැසි සහ මාධ්‍ය සමාජය විසින්ම නැවත සකස්කර ගත යුතුව ඇත්තේය.
එය එසේ යහපත් වන්නේ වර්තමානයට වඩා අනාගතයට ය.

කෙසේ නමුත් ඝාතනය කළ නිමලරාජන් මාධ්‍යවේදීයා පිළිබදව ඔහුගේ සමීපතම මිතුරෙකු වූ යාපනයේ මාධ්‍යවේදියෙකු වන තයාබරන්, පසුගිය 2012වසරේ අගෝස්තු 11දා අපට මුණ ගැසුණේ රාජපක්ෂ සමයේ බන්ධනාගාරයක් තුලදී මරා දැමුණූ රැදවියෙක් වන, යාපනයේ මරියදාස් ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු සිදු කරමින් තිබූ යාපනයේ පොදු සුසාන භූමියක දීය.

නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත්, දැන් එම සුසාන භූමියේ ඇති නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ ‘මර්ධනය‘ එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි. එදින අප තයාබරන්ගෙන්, නිමලරාජන් පිළිබදව විමසූවෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළ කරුණු පසුගිය වසරේදීත් මාධ්‍යවේදී නිමලරාජන් සිහිකරමින්, ඔහුට යුක්තිය ඉෂ්ඨ කිරීමට බලකරමින් එම සටහන තැබු අතර අද ද එම සටහන ඒ පරිද්දෙන්ම නැවතත් තබන්නේ එහි ඇති සියුම් වැදගත්කම නිසාවෙනි.

මේ මාධ්‍යවේදී නිමලරාජන් සහ නිමලරාජන් ඝාතනය පිළිබදව, මාධ්‍යවේදී තයාබරන් සමග පැවත්වූ සාකච්ඡාවේ සටහන යි.

‘‘මගේ මිත‍්‍රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්‍ය කේෂත‍්‍රයට හඳුන්වලා දුන්නෙ. නිමලරාජන් සමග මම අවුරුදු 4ක් 5ක් විතර වැඩ කරලා තියෙනවා. එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක්. එයාගෙ ආරක්ෂාවට තිබුණු තර්ජන ගැන අන්තිම කාලෙදි මට කියලා තියෙනවා. රජය සමග සිටින ඊ.පී.ඞී.පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්. නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා. ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් (දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා) නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා. සුපුරුදු ලෙසම ශ‍්‍රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා. නීතිපතිගේ නියෝගය තවම ලැබිලා නැහැ කියලා අවුරුදු 8ට වැඩි කාලයක් තවමත් ෆයිල් එක ඔහේ දාලා තියෙනවා.

නිමලරාජන් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ආදර්ශයක්. නිමලරාජන් කියන්නෙ ප‍්‍රවීණ ජනමාධ්‍යවේදී සිවරාම්ගෙ පරපුරේ කෙනෙක්. එයාට දෙමළ, සිංහල සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන්. රාවය, බීබීසී සංදේශය වැනි ප‍්‍රධාන මාධ්‍ය වල එයා වැඩ කරලා තියෙනවා. යාපනයට නිමලරාජන්ගෙ අඩුව පුරවන්න වෙන කෙනෙක් නැහැ. නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා.

අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා. එම සංවිධානය ජනමාධ්‍යවේදීන්, ඒ අයගෙ පවුලෙ අය, ජනමාධ්‍ය කේෂත‍්‍රය සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා. ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්‍යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා, ජනමාධ්‍යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා. මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා. ඒ වගේම මේ කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා.

නිමලරාජන්, සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ. ජනමාධ්‍ය නිදහස නැහැ. මෙහි මාධ්‍ය නිදහසක් කියලා දෙයක් නැහැ. දැනුත් අපි සාමාන්‍ය කැමරාවක්, සාමාන්‍ය රෙකෝඩරයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ කාටවත් නොපෙනෙන විදිහට. අපිට සිදුවීමක් වෙන තැනකට වෘත්තීමය කැමරාවක් රැගෙන යන්න බැහැ. අපිව ලූහුබඳිනවා. අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප‍්‍රශ්නාර්ථයක්. ශ‍්‍රී ලංකා රජය දෙමළ ප‍්‍රදේශය වල තිබෙන ජනමාධ්‍ය මර්ධනය කිරීමෙන් ජනතාවට ඇත්ත තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථාව වලක්වනවා.‘‘ – මාධ්‍යවේදී දයාබරන් (2012 වසරේ දී සාකච්ඡාවක් ඇසුරෙනි)

පසු සටහනක්

ගෙවී ගිය වසර 16 දී විවිද ආණ්ඩු බලයට පත් විය. ඒ බොහොමයක් ආණ්ඩුවල නායකයින් විසින්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් වැනි ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරල ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවන බව දිව්රා පොරොන්දු දුන්නේය. නමුත් ඒ කිසිවක් කියු ලෙසම සිදුවුනේ නැත.

දැන් තවත් නව ආණ්ඩුවක්, ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් ‘සම්මුති ආණ්ඩුවක්‘ ‘යහපාලන ආණ්ඩුවක්‘ ලංකාවේ ආණ්ඩු බලය හොබවයි. ඔවුන් ද 2015 ජනවාරි 8වෙනිදාට පෙර කීවේ පසුගිය කාලයේ මාධ්‍යට එල්ලකරන ලද මර්දනයට අදාළ වගකිව යුත්තන් නීතිය හමුව ට පමුණු වන බවය. ඒ ප්‍ර‍කාශයන් ක්‍රියාවෙන් සනාථ කරන බවට යම් පමණකට හෝ පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍යවේදී ප්‍ර‍ගීත් අතුරුදහන් කිරීම පිළිබද සහ මාධ්‍යවේදී ලසන්ත, ඝාතන පරීක්ෂණ පමණි. එහි පරීක්ෂණත් ගමන් කරන්නේ මන්දගාමී වය.(ඒ පිළිබදව පෙරද සාකච්ඡා කර තිබේ) එපමණක් නොවේ වර්තමාන යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම කකුලෙන් ඇදීම් ද සමගය. නමුත් අනෙක් සිදුවීම් බොහෝමයකට සාධාරණ සහ වේගවත් පරීක්ෂණයන් සිදුවන බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන් ඝාතනයන්, පහරදීම් වලට මුහුණ දුන්, දෙමළ භාෂිත මාධ්‍යයෙන් සිය මාධ්‍ය භාවිතාව සිදුකල උතුරු- නැගෙණහිර මාධ්‍යවේදීන් පිළිබද කිසිදු පරීක්ෂණයක සේයාවක් දක්නට නැත.

නිමලරාජන් ඝාතනය කර වසර 16ක් ගතවන්නේ එවැනි ඛේදනීය තත්ත්වයක් තුළයි. එසේම වසර ගණනාවකට පසු පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයෙක් ලෙස දෙමළ ජාතිකයෙක් වන සම්බන්ධන් මහතා පත්ව තිබේ. එබැවින් ඔහුටවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් ප්‍ර‍ශ්න කිරීමටවත් සාදාචාරයක් තිබිය යුතුය. එසේ නොවුනහොත් සම්බන්ධන් මහතාවත් ‘පැරණි දේශපාලන කුණු කූඩයට‘ ජනතාව විසින් තල්ලු කර දමනු නිසැකය. සම්බන්ධන් මහතාට පමණක් නොව මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරනවා යැයි කියමින්, දැන් එය ඉටුනොකර සිටියහොත්, මෙන්ම ‘යුක්තිය‘ ඉටුකරනවා වෙනුවට ‘මර්දකයින්‘ ආරක්ෂා කරන ‘නරුම ව්‍යාපෘතියකට‘ 2015 ජනවාරියේ බලයට පත්වූ ‘යහපාලන‘ ආණ්ඩුවත් ගමන් කළහොත්, එය රටට වඩා ‘දරුණු අයහපත් ත්ත්වයක්‘ ඇති කරනු නොඅනුමානය.

– සම්පත් සමරකෝන් | Sampath Samarakoon
– thanks – www.vikalpa.org

– Global Tamil News : Sinhala