WORLD NEWS

ඉර්මා කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්නයේ

පැයට කිලෝමීටර 209 ක් (පැයට සැතපුම් 130 ක් ) පමණ වේගයකින් ඉර්මා හරිකේන් කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කරා ලඟාවෙමින් තිබේ.

හරිකේන් කුණාටුවට සම්බන්ධ දැඩි සුළං හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට දකුණින් පිහිටි දූපත් වලට දැනටමත් හානි පැමිණ තිබෙන අතර, ඉදිරි පැය කිහිපය ඇතුළත එය ප්‍රාන්තයට ලඟා වනු ඇතැයි අපේක්ෂිතය.

කෙසේ වෙතත් මුලින් කුණාටු වර්ග කිරීම් අනුව පස් වෙනි ප්‍රභේදයේ තිබුණු කුණාටුව මේ වන විට හතර වෙනි ප්‍රභේදය දක්වා පහළ දමනු ලැබ තිබේ. ප්‍රාන්තයේ වෙරළබඩ තීරයේ මුහුදේ ජල මට්ටම දැනටමත් ඉහල ගොස් තිබේ. කුණාටුව ලඟාවීමත් සමග එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.

ඊට පෙරාතුව කැරිබියානු කළාපයේ රටවලදී ඉර්මා කුණාටුවට ගොදුරු වූ 25 දෙනෙකුවත් මරුමුවට පත්වූහ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලක්ෂ 63 ක පිරිසකට වහාම සිය නිවාසවලින් ඉවත්වන මෙන් දැනුම් දී තිබේ. එය ප්‍රාන්තයේ ජනගහනයෙන් 30% ක් පමණ පිරිසකි.

මේ වන විට සිය නිවාසවලින් ඉවත් නොවූයේ නම් ඒ සඳහා දැන් ප්‍රමාද වැඩි බව සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශයක් කළ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසීය. මේ අතර ෆ්ලොරිඩාවේ ඇතැම් කඩ සාප්පුවල වතුර බෝතල් හිඟයක් පැවති බවටත් ආහාර ද්‍රව්‍ය රැස් කර ගැනීම පිණිස ජනතාව පොරකමින් සිටි බවට වාර්තා පළ වේ.

විදුලි බලය නෑ

විශේෂයෙන්ම ෆ්ලොරිඩා කීස් (Florida Keys) නම් ප්‍රාන්තයේ දකුණු පසින් පිහිටි දූපත් සමූහයට සහ බටහිර වෙරළබඩ තීරයට “ජීවිත හානි ඇතිවිය හැකි” දැඩිම කුණාටුව එල්ලවීමට ඉඩ තිබෙන බව ජාතික කුණාටු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. කුණාටුව හේතුවෙන් ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විට විදුලි බලය ඇන හිට තිබේ.

ප්‍රාන්තයේ බටහිර ඉවුරට කුණාටුවෙන් දැඩිම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂිත අතර, ටම්පා (Tampa) සහ සෙන්ට් පීටර්ස්බර්ග් (St Petersburg) නගර පිහිටා තිබෙන්නේ ඒ ආසන්නයේය.

ලක්ෂ තිහකට ආසන්න ජනගහනයක් සහිත ටම්පා බොක්ක (Tampa Bay) ප්‍රදේශයට 1921 න් අනතුරුව බරපතල හරිකේන් කුණාටුවක් හමා නැත. ඉර්මා දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.

අනතුර ඉදිරියේ සිය භූමියේ පනස් හය ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති. එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩාවේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.

සිකුරාදා රාත්‍රියේ චණ්ඩ මාරුතය සහ මහ වැසි සමඟ කියුබාව ඔස්සේ හමා ගිය ‘ඉර්මා’ දශක කීපයකට පසුව කැරිබියානු කලාපයේ කොමියුනිස්ට් රාජ්‍යයට එල්ල වූ පස් වෙනි ප්‍රභේදයට (CATEGORY 5) අයත් පළමු හරිකේන් කුණාටුවයි.

මෙම මහා කුණාටුව ‘ලීවර්ඩ්'(Leeward Islands) දූපත් සමූහය ඔස්සේ පුවටෝ රිකෝ, ඩොමිනිකා ,හිස්පැනියෝලා හයිටි සහ කියුබාව, ඔස්සේ හමා ගිය අතර එය ඉරිදා ෆ්ලොරිඩාවට ලඟා වනු ඇතැයි විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කැරිබියානු දූපත් ඔස්සේ හමා යද්දී ‘ඉර්මා’ කුණාටුව ටර්ක්ස් සහ කේකොස් (Turks and Caicos Islands) දූපත්වලට ද දැඩි හානි පමුණුවන ලදී.

BBC – Sinhala