WORLD NEWS

ගුර්මීත් රාම් රහීම් සිං පළා යාමේ සැලැස්මක්;පොලිසියත් හවුල්

ස්ත්‍රී දූෂණ චෝදනා වලට වරදකරු කරනු ලැබ ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්ත අධිකරණයක් විසින් විසි වසරකට බන්ධනාගාර ගත කරන ලද ආගමික නායක ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) සිරගෙදරින් පළා යාමට ගත් උත්සාහයක් වාර්තා වෙයි.

පසුගිය අගෝස්තු මාසයේ සිරගත කරන ලද ආගමික නායක ගුර්මීත් රාම් රහීම් සිංට සිරගෙයින් පළා යාමට උදව් කිරීම සම්බන්ධයෙන් පොලිස් භටයන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන්ගෙන් එක් පොලිස් භටයකු බටහිර රාජස්ථානයෙන් පැමිණි අයකු වන අතර සෙසු තිදෙනා හර්යානා ප්‍රාන්තයේ වැසියන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ඒ.එස්.චවුලා (AS Chawla) බීබීසියට ප්‍රකාශ කළේය.

ඔවුන් ආගමික නායක ‘ගුරු’ වෙනුවෙන් පළා යාමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව හෙළිදරව් වී ඇතැයි සඳහන් කළත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ඒ.එස්.චවුලා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළේ නැත.

ගුරු ගුර්මීත් රාම් රහීම් සිං දූෂණ චෝදනාවලට වරදකරු යයි අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමත් සමඟ හර්යානා ප්‍රාන්තයේ ‘පන්ච්කුලා’ (Panchkula) නගරයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් වලින් තිස් අට දෙනකුවත් මරා දැමුණ අතර දෙසීයකට අධික පිරිසකට තුවාල සිදු විය.

ගුරු ගුර්මීත් රාම් රහීම් සිංට දඬුවම් නියම කරන ලද අගෝස්තු 28 වෙනි දින ගැටුම් ඇති වේයැයි බියෙන් එදින උදෑසන සියලු පාසල් සහ උසස් විදුහල් වසා දැමීමට සිදු වූ අතර ‘හර්යානා’ ප්‍රාන්තය තුළ ජංගම දුරකථන පහසුකම් පවා අත්හිටුවා තිබුණි.

by – BBC Sinhala