SRILANKAN NEWS

ඉදිරි මැතිවරණ සියල්ල කොට්ඨාස ක්‍රමයට – ජනපති

ඉදිරි සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට තුළ පවතින සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

උතුරු මැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ(16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.

මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලඥයින් රට ගැන සිතීමට පෙර පෞද්ගලික දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීම සිදුවන බැවින් ජනතා බලාපොරොත්තු ඉන් ඉටු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහය පළ කරන ඇතැම් පාර්ශව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්,ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද එම ක්‍රමය හඳුන්වාදීම සඳහා තමන් කැපවී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.