SRILANKAN NEWS

ශ්‍රී ලංකා හා පාකිස්තාන නායකයන් අතර සාකච්ඡා හමුවක්..

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂාහිද් කාක්කන් අබාසි මහතා අතර හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) මධ්‍යම රාත්‍රීයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අතීතයේ සිට පවතින ද්වි පාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කෙරුණු අතර දෙරට අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් සහ නව ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බවට ද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

පසුගිය යුධ සමයේදී මෙන්ම ආපදා අවස්ථාවලදී ද අවංක මිතුරෙකු ලෙස පාකිස්ථානය ශී‍්‍ර ලංකාවට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා, මානව හිමිකම් කවුන්සිලයේදී ද පාකිස්ථානය, ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා සිය විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන නව අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා මෙහිදී ජනාධිපතිතුමා හමුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.