WORLD NEWS

මෙක්සිකෝ භූකම්පනයෙන් 200කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට

මෙක්සිකෝ හි ඇතිවූ භූමිකම්පාවකින් අවම තරමින් පුද්ගලයින් 226 දෙනෙකුවත් මියගොස් මෙක්සිකෝ අගනුවර ගොඩනැගිලි ගණනාවක් කඩා වැටිණි. පාසලක් කඩාවැටීම හේතුවෙන් දරුවන් 20 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ජනාධිපති එන්රික් පේනා පැවසීය.

මැග්නිටියුඩ් 7.1 ක් වූ භූචලනය අසල්වැසි රාජ්‍යවලට ද දැනී ඇත. මෙක්සිකෝ සිටි අගනුවර දහස් ගණනකට මරු කැඳවමින් භුමි කම්පාවක් හටගෙන වසර 32 ක් ගෙවුණු තැන භූමිකම්පා සඳහා සුදානම්වීමේ පෙර පුහුණුවක බොහෝ දෙනා යෙදෙමින් සිටින අවස්ථාවක මෙම භූචලනය හටගැනිණි.

නිතර භූමිකම්පා ඇතිවන කලාපයක පිහිටා ඇති දකුණුදිග මෙක්සිකෝහි මේ මස මුළදී හටගත් මග්නිටියුඩ් 8.1 ක භූචලනය හේතුවෙන් අවම වශයෙන් 90 දෙනෙක් මියගියහ.

මෙවර ඇතිවූ භුමිකම්පාව හේතුවෙන් මික්සිකෝ සිටි අගනුවර මිලියන දෙකක පමණ පිරිසකට විදුලි සැපයුම හා දුරකතන පහසුකම් නතරවී ඇත. නගරයේ ගෑස් නල හේතුවෙන් වීථිවල දුම්බීමෙන් වළකින ලෙස නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ගොඩනැගිලි කඩාවැටුණු හෝ හානිවූ ස්ථාන 44ක ගලවාගැනීමේ සේවා ක්‍රියාත්මකවන බව මෙක්සිකෝ සිටි නගරාධිපතිවරයා පැවසීය. නගරය තුළ කඩා වැටී ඇති ගොඩනැගිලි අතරට සය මහල් තට්ටු නිවාසයක්, සුපිරි වෙළෙඳසලක් හා කර්මාන්තශාලාවක්ද වේ.

– බීබීසී සිංහල