SRILANKAN NEWS

චුන්නාකම් සහ පලෙයි සිද්ධින් පිළිබඳ ව පරීක්ෂණ

police පොලිසියචුන්නාකම් නගරයේ දී ඊයේ (23) සිදු වූ සිද්ධියකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

චුන්නාකම් නගරයේ කඩ සාප්පුවකින් කප්පම් ගැනීමට, මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි 6දෙනෙකු සහ එම සාප්පු හිමිකරුවන් අතර ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුම සමතයකට පත් කිරීමට ඒ අසල රාජකාරියේ යෙදී සිටි නිරායුධ පොලිස් නිලධාරීන් තිදෙනෙක් මැදිහත් වී ඇති අතර එහිදී එම කොල්ලකරුවන් එම පොලිස් නිලධාරීන්ට පහර දී ඇත.

අදාළ සිද්ධියේ දී තුවාල තැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය පවසයි.

මේ අතර යාපනය පලෙයි ප්‍රදේශයේ දී ඇති වූ වෙනත් සිද්ධියකදී හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු යැයි සැක කෙරෙන තරුණයෙකු බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයකට ඇතුළුවීමට යාමේ දී බිම් බෝම්බයක් පුපුරායාමෙන් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත. මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ වී ඇත.

ධීවර කර්මාන්තයේ යෙදෙන මොවුන් මාලු ඇල්ලීම සඳහා එල්ටීටීඊ සතුව තිබී දැනට සඟවා ඇති බෝම්බ වර්ග මහ මුහුදේ දී භාවිත කරන බවත් වල දමා තිබූ එවැනි බිම් බෝම්බයක් ගොඩගැනීමට යාමේ දී එම බෝම්බය පුපුරාගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. එම තරුණයින් පුනරුත්ථානය නොවූ අය බවද සඳහන් වෙයි.

– news.lk
– Global Tamil News : Sinhala