SRILANKAN NEWS

උතුරු පළාතේ අපරාධ මැඩලීම සම්බන්‍ධයෙන් විශේෂ රැස්වීමක්..

උතුරු පළාතයෙහි සිඳුවන අපරාධ ක්‍රියාවන් මැඩලීම සඳහාවූ විශේෂ උපදේශන රැස්වීමක් අද (23) පෙරවරු 10ට යාපනය පිහිටි ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ශ්‍රේෂ්ඨ පොලිස්පති රොශාන් ප්‍රනාන්දු, වව්නියා දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කිලිනොච්චිය ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරි පාලිත සිරිවර්ධන, යාපනය දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු, මුල්ලතිව් ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරි කන්දවත්ත, මන්නාරම නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂක සිරිවර්ධන, ආණ්ඩුකාර ලේකම් එල්. ඉලන්කෝවන්, අභ්‍යන්තර කටයුතු ලේකම් ජේ.එම්. සෝමසිරි ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවූහ.

ජනතාව බියවද්දන ආවා කල්ලියේ ක්‍රියාකාරකම් මැඩපවත්වා ඇති බවත්, දෙමළ කතා කරන පොලිස් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් උතුරේ දෙමළ භාෂාවෙන් රාජකාරි කටයුතු සිදුකිරීමේ අපහසුතාවක් පවතින බවද ආණ්ඩුකාරවරයා වෙත පෙන්වාදී තිබේ. තවද අනවසරයෙන් මාර්ග අසල හින්දු, බෞද්ධ, සහ ක්‍රිස්තියානි ආගමික පිළිම ඉදිකිරීමෙන් සමාජය තුල අනවශ්‍ය ගැටළු ඇතිවන බවද පොලිසිය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

එහිදී අදහස් පළ කළ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, දෙමළ කතා කරන තරුණ තරුණියන්ව පොලිස් සේවයට බඳවා ගැනිම සඳහා පියවර ගෙන ඇති බවත්, ප්‍රධාන නගරවල සහ පොදු ජනතාව අධික වශයෙන් ගැවෙසන ස්ථානවල අපරාධ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ව හඳුනා ගැනීම සඳහා සී.සී.ටීවි කැමරා සැවි කිරීමට පියවර ගෙන ඇති බවද පවසා තිබේ.

අනසරයෙන් මාර්ග අසල සහ තැනින් තැන පිළිම තැන්පත් කිරීම සම්බන්‍ධයෙන් හින්දු ආගමික කටයුතු ඇමැති ස්වාමිනාදන් මහතා, ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා, සහ බෞද්ධ ආගමික කටයුතු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා තිබේ.