SRILANKAN NEWS

නව ඡන්ද ක්‍ර‍මයෙන් නවකයින්ට වැඩි අවස්ථාවක් – ෆයිසර් මුස්තාපා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 90කට වඩා දේශපාලන පවුල් පසුබිමක් තුළ තේරී පත් වූ පිරිසක් වන බවත් නව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රමය තුළින් දේශපාලන පසුබිමකට සම්බන්ධ නොවන වැඩි පිරිසකට දේශපානයට එක්වීමට අවස්ථාව ලැබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර කිසිදු ජන කොට්ඨාසයකට මෙම ඡන්ද ක්‍ර‍මය තුළින් අසාධාරණයක් සිදු වීමට ඉඩනොතබන බව ද සඳහන් කළේය.

මෙම නව ක්‍රමය යටතේ රජය පළාත් පාලන ආයතන සියල්ලක්ම 60%ක කොට්ඨාස ක්‍රමය හා 40%ක සමානුපාතික ක්‍රමයක් යටතේ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ සම්මත වු බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ මහතා ප්‍ර‍කාශ කළේ සියලු පළාත් සභා මැතිවරණ එක ඡන්ද ක්‍රමයක් යටතේ එක දිනයක පැවැත්වීමට කටයුතු කළ බවයි.

කාන්තාවන් 52% ක් ඉන්න රටක කාන්තා නියෝජනය වැඩි කළ යුතු අතර සෑම පළාත් සභාවකම 25% ක් කාන්තාවන් සිටිය යුතු බවත් කාන්තාවන් සඳහා දේශපාලන ක්ෂේත්‍රයේ අවස්ථාව ලබාදීම තුළින් පරිපාලන ක්ෂේත්‍රයේ සහ දේශපානයේ නව පෙරළියක් සිදු වන බවත් අමාත්‍යවරයා පැවසීය