SRILANKAN NEWS

සමෘද්ධිමත් ජාතිකයක් ගොඩගැගීම සඳහා ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් – එ.ජා මහලේකම්

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

ශී‍්‍ර ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබාදෙන බව ද මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුව ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී මහලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.
පැරිස් සමුළුවේදී ඇතිකරගත් එකඟතාවයන් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකවම සිදුකරන මැදිහත්වීම ද මෙහිදී අගය කළ මහලේකම්වරයා තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන කි‍්‍රයාදාමයට එක්කර ගැනීමට ජනාධිපතිතුමා දක්වන උනන්දුව පිළිබදව ද සිය ප‍්‍රසාදය පළ කළේය.

තමා 1978 වසරේදී පමණ ශී‍්‍ර ලංකාවට පැමිණි අතර එහිදී සීගිරිය, දඹුල්ල සහ පොළොන්නරුව ඇතුළු ප‍්‍රදේශවල සංචාරය කළ බව මෙහිදී සිහිපත් කළ අන්තෝනියේ ගුටරෙස් මහතා ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ කොමසාරිස්වරයා ලෙස ද ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූ බව සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාව සමග පවතින සහයෝගිතා වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කරමින් ශී‍්‍ර ලංකාවත්, එහි ජනතාවත් වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බව ද මහලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන කි‍්‍රයාමාර්ග සඳහා අද ශී‍්‍ර ලංකා රජය කැපවී සිටින අතර ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත‍්‍රත්වය ඒ සඳහා අවශ්‍ය බවයි.

සංවර්ධන ඉලක්ක ද ජය ගනිමින් සංහිඳියා පිළිවෙතක් කරා ගමන් කරන ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය දැක බලා ගැනීමට පුද්ගලිකවම සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ඇරයුම් කළේය.