SRILANKAN NEWS

වව්නියාව, මුල්ලතිව්, සහ මන්නාරම දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබෙන ඉඩම් මාස තුනකින් නිදහස් ..

වව්නියාව, මුල්ලතිව්, සහ මන්නාරම දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් ඉදිරි මාස තුනක කාලය තුල නිදහස් කිරීමට ආරක්‍ෂක අංශය එකඟතාවය පළ කර ඇති බවත්, නිදහස් කිරීමට නොහැකි ඉඩම් සම්බන්‍ධයෙන් විකල්ප සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

වව්නියාව, මන්නාරම සහ මුල්ලතිව් ප්‍රදේශවල ආරක්‍ෂක අංශය යටතේ තිබෙන පාසල්, කෝවිල්, දේවස්ථාන, මස්ජිද්, විහාරස්ථාන, සෞඛ්‍ය ආයතන ඇතුළු ස්ථාන නිදහස් කිරීම සම්බන්‍ධ සාකච්ඡාවක් ඊයේ 27 දින වව්නියාව දිසාපති කාර්‍යාලයේදී පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කරමින් රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව පවසා සිටියේය. ලබන දෙසැම්බර් මස වන විට ඉඩම් රැසක් නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ ලෙක්ම පී. සුරේෂ්, වව්නියා දිස්ත්‍රික්ක දිසාපති ආර්. පුෂ්පකුමාර්, අධ්‍යාපන අමාත්‍යංශයේ දෙමළ පාසල් සදහා වූ සංවර්ධන කටයුතු අධ්‍යක්‍ෂක මුරලීදරන්, අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේ නිලධාරින්, ආරක්‍ෂක අංශයේ නිලධාරින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවූහ.