SRILANKAN NEWS

රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් – ජනතා විමුක්ති පෙරමුණ

මියන්මාරයේ රෝහින්ග්‍යා පළාතේ සිට පැමිණි සරණාගතයින් පිරිසකට පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (28) නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටින මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් බවත් කුඩා කණ්ඩායමකගේ මෙවැනි ක්‍රියාවන් නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත් බැවින් එවැනි තත්වයක් වැළැක්වීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

එම පක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්….

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලූ 30 දෙනෙක් පමණ වන මෙම සරණාගත පිරිසට හිරිහැර කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් ලෙස අපි දකිමු.

ලොව පුරා සිදුවන ජාතිවාදී ආගමික අන්තවාදී ගැටුම් නිසා කාන්තාවන්, ළමුන් ඇතුළු විශාල ජනතාවක් මරණයටත් වේදනාවටත් පත්වෙමින් සිටී. ජාතිවාදය හා ආගමික අන්තවාදය කුමන රටේ තිබුණත්, කුමන වර්ගයෙන්, කුමන භාෂාවෙන්, කුමන පැත්තෙන් ක්‍රියාත්මක වුවත් එය ජනතාවට හානියක් වන අතර මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡු ක්‍රියාවන් වේ. ලොව සියලූම වර්ගයේ ජාතිවාදයන් හා ආගමික අන්තවාදයන් අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාය. එක් ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් වැරදි නිසා තවත් එවැනිම ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් සාධාරණ වන්නේ නැත.

ලංකාව තුළද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කණ්ඩායම්වල ගැටුම් සිදුවෙමින් තිබේ. ජාතිවාදී ගැටුම් නිසා ලංකාවට පසුගිය කාලයේ විශාල හානි සිදුවූ අතර තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකටද මුහුණ දීමට සිදුවිය. එහි සමහර අයහපත් ප‍්‍රතිඵලවලට අපේ රට තවමත් මුහුණ දෙමින් සිටී. ලංකාවට විදේශ මැදිහත්වීම් සිදුවීමටද එම ගැටුම් හේතුවිය. එසේ තිබියදී යළි යළිත් ලංකාව තුළ ඉතාම කුඩා කණ්ඩායම් ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස හැසිරීම කණගාටුදායකය.

රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ සිට වරින් වර ඉතා කුඩා පිරිස් කිහිපයක් ලංකාවට පැමණ තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මගින් ඔවුන් පසුව වෙන රටවලට යවා තිබේ. දැන් පැමිණ සිටින සුළු පිරිසද ලංකාවේ සිටිනුයේ තාවකාලිකවය. ඒ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළය. එසේ තිබියදී මේ අවස්ථාවේ මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් වේ. මේ නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත්ය.

මෙහි තවත් පැත්තක් තිබේ. මෙවැනි ක්‍රියාවලදී මේවා වැලැක්විය යුතු, ආණ්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයද ඉතාම අලස හා වගකීම් විරහිත එකකි. රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබඳ විවිධ බොරු ප‍්‍රවෘත්ති රට තුළ පැතිරවීමට කුඩා පිරිසකට හැකිව තිබෙන්නේ බලධාරීන් මේ පිළිබඳව සත්‍යය කල් ඇතිව ජනතාවට දැනුවත් නොකිරීම නිසාය. එසේම දේශපාලන වශයෙන් බංකොළොත් වූ ධනපති දේශපාලන නායකයන්ද මෙම අන්තවාදී පිරිස පසුපස සිටින බව පෙනේ. අවසානයේ මින් අපකීර්තියට පත් වනුයේ ඔවුන් නොව ශ්‍රී ලංකාවය.

එබැවින් කුමණ පැත්තෙන් කුමණ තර්ක මත ජාතිවාදය හා ආගමික අන්තවාදය වැපිරුවද එය පොදුවේ හානිදායක එකක් නිසා එයට ඉඩ නොදිය යුතුය. රෝහින්ග්‍යා සරණාතගතයන්ට හිරුහැර කිරීම මනුෂ්‍යත්වයට හා ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත් නොගැලපෙන දෙයක් වන බැවින් සියලූ දෙනාම එම පහත් ක්‍රියාව හෙළා දැකිය යුතු යයි අප විශ්වාස කරමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2017.09.28