ARTICLES

දශක පහකට අධික කාලයක් දැවෙන ගින්න ගජන්, සුලක්‍ෂන්ගේ අම්මාවරුන්ගේ කුසටද පැතිරුණි…

img_7888– නඩරාජා ගුරුබරන්

යුද්දය පැවැති දෙමළ ප්‍රදේශවල දැනට ඉතිරිව තිබෙන අධ්‍යාපන සිහින මැවූ නඩරාජා ගජන්, සහ පවන්රාජ් සුලක්‍ෂන් වෙඩි උණ්ඩයට නැසී ගියහ. යතුරු පැදි අනතුරක් යැයි අවසන් කළ මරණය, රෝහල් වෛද්‍ය පරීක්‍ෂණවලින් එය ඝාතනයක් යැයි සනාථ වුණි.. දෙම්පියන්, ඥාතීන්, ගම්වාසීන්, සහ සරසවි මිතුරන්ද ශෝකයට පත්වූහ… ගජන් සහ සුලක්‍ෂන් ජීවත්වූ කිලිනොච්චිය පාරදිපුරම්, යාපනය කන්දරෝඩයි, අලවැටි ප්‍රදේශය පුරා ශෝකය පැතිරුණි.

කාලාන්තරයක් තිස්සේ මුහුණ දෙමින් සිටින මෙවැනි දුක් වේදනා, දෙමළ ජනතාවගේ නොහැකියාව, ගිනි අවි, එහි වෙඩි උණ්ඩ සහ එය රැගෙන යන ගල් ගැසුන සිත්වලට දැනෙන්නේ නැත.. එසේ දැනුණේ නම්..

මරණ පරීක්‍ෂණ කටයුත්ත ඇතුළු අවමඟුල් වියදම් සියල්ල අපි කරන්නම්, අපට සමාවන්න යැයි ගජන්ගේ මව වෙත පොලීසිය අසා සිටියිද?

1958 වසරේ සිට ඔබලා කොපමණ වතාවක් අපගෙන් සමාව ඉල්ලා ඇති දැයි එම මව පොලීසිය වෙත හරවා ප්‍රශ්ණ කළේ නැහැ… සමාව දුන්නත්, නොදුන්නත් ගජන් මින්පසු තමන්ව අම්මා යැයි කියන්නට නොඑන බව එම මව නොදන්නවා නොවේ..

එම මව පවසයි, “පොලිස් නිළධාරීන් යාපනය රෝහලේ සිට මාවයි දුවවයි ඒ.සී. වාහනයකින් යාපනය පොලිස් ස්ථානයට කැඳවා ගෙන ගියා. එහිදී අපට තේපැන් ලබාදුන්නා. අපි එය ප්‍රතික්‍ෂේප කළා. අනතුරුව එහි කැම්පස් ළමයි ද පැමිණ සිටියා.

පොලිස් ස්ථානයේදී, ‘මෙය අපි සැලසුම් කරලා කළේ නැහැ, වැරදීමකින් සිඳුවූ සිද්ධියක්, පොලිස් නිළධාරීන් වෙරි මතේ සිටියාද දන්නේ නැහැ, තැබූ වෙඩිල්ල සිසුන්ට වැදිලා. අපට සමාවන්න, මින් පසු මෙවැනි දේවල් සිදුවන්නේ නැහැ. සිද්ධියට සම්බන‍්ධ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට කොළඹ සිට කණ්ඩායමක් පැමිණීමට නියමිතයි, අදාළ නිළධාරීන්ව අපි අත්අඩංගුවට ගෙන තිබෙනවා, නොදැනුවත්ව සිඳුවූ මේ සිද්ධියට සමාවන්න‘

අවමඟුල් කටයුතු ඇතුළු සියළු වියදම් පොලිසිය විසින්ම සිදු කර දෙන බව පවසා කිලිනොච්චිය ඩි.අයි.ජි. කාර්‍යාලයට ද දුරකථන ඇමතුමක් ලබාදී අපගේ නිවසේ ලිපිනයද ලබාදී අවශ්‍ය සියළු උදව් ලබා දෙන්නැයි පවසා සිටියා.

අපගෙන් සිඳුවූ වරදට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු, මිනී පෙට්ටි වියදම, වාහන වියදම, ඇතුළු සියළු වියදම් පොලීසිය විසින් සිදු කර දෙන බවත්, නිවසේ වියදම ද ඔවුන්ම භාර ගන්නා බවද පවසා සිටියෝය. නමුත් අපගේ ඥාතීන් ඔවුන්ට කිසිවකු කරන්නට ඉඩ දුන්නේ නැහැ පොලීසිය මෙහි පැමිණීමට අවශ්‍ය නැති බවත්, ඔවුන්ගේ උදව් ආධාර අවශ්‍ය නැති බවද පවසා ඔවුන්ව හරවා යැව්වා.

ඉන්පසු කොළඹ සිට පොලිසියේ ඉහළ නිළධාරියකු කථා කරන බව පවසමින්, ඔබගේ දරුවන සාමන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්ව තිබෙනවාද, ඔවුන්ට අපි රැකියාවක් ලබා දෙන්නම්, මෙම උදව්ව අපි මානුෂික වශයෙන් කරනවා, අපට සමාවන්න, මෙය වැරදීමකින් සිදුවූ සිද්ධියක් යැයි පවසා සිටි බව යාපනය සරසවිවියේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන් නැමැති සිසුවාගේ මව නඩරාජා සරෝජිනි පවසයි..

නිකරුණේ වෙඩි තබා, ඉන්පසු මරණ පරීක‍්ෂණ වියදම්, මිනී පෙට්ටි ගැනීම, වාහන වියදම යැයි අවමඟුල් කටයුත්තට වියදම් කළේ නම් එම දැරුවා බිහි කළ මවගේ කුස තෘප්තියට පත්වෙයි ද?

දෙමළ ජනතාවගේ ජීවිත, හැඟීම්, සියල්ල බිස්කට්, සෝඩා ලබාදී මිනී පෙට්ටි, වාහන ඇතුළු අවමඟුල් වියදම ද ලබාදී දේහය රැගත් අවමංගල්‍ය පෙරහර සුසාන භූමිය බලා ගෙන ගොස් නිසල දේහයට අවසන් කටයුතු සිදු කළේ නම් සියල්ල අවසන් වෙයිද ?

“අපගේ සරසවි ශිෂ්‍යා වන ගජන්ගේ ඝාතනය හෙළාදක, විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළා.. නමුත් පොලිසියේ ඉහළ මට්ටමේ බලපෑම අපගේ සිත් වේදනාව ප්‍රකාශ කිරීමට අවසර ලබාදුන්නේ නැහැ“ යැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සිය කනස්සල්ල පළ කරති..

‘ඊයේ සෙනසුරාදා 11ට පමණ, ඝාතනයට ලක්වූ නඩරාජා ගජන්ගේ නිවසේ සිට මෙම විරෝධතා පාගමන ආරම්භ කර, කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය දක්වා ගොස් එහිදී පෙත්සමක් භාරදීමට පාරදිපුරම් ප්‍රදේශවාසීන් වන අපි තීරණය කළා.. නමු.් ඝාතනයට ලක්වූ සිසුවාගේ ඥාතීන්ගේ ඉල්ලීමකට අනුව එම විරෝධතාවය අත්හරියා‘

හේතුව එම පවුලේ ඥාතීන් සමඟ පොලිසියේ ඉහළ මට්ටමේ නිළධාරීන් කථා කිරීමෙන් පසු ඔවුන් විරෝධතා පාගමන සිදු කිරීමට අකමැත්ත පළ කළේය. ඝාතනයට පත්වූ සිසුවාගේ ඥාතීන්ට පොලිසිය විසින් යම්කිසි බලපෑමක් සිදු කර ඇතැයි අපිට සැකයක් තිබෙනවා‘ යැයි ප්‍රදේශවාසීන් පවසා සිටිති.

අපගේ ප්‍රදේශයේ සිසුන්ගේ ජීවිත අයුක්ති සහගතව උදුරාගෙන තිබේ. ජීවිතක්‍ෂයට පත්වූ සිසුන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙනවිත් දඞුවම් ලබාදිය යුතු බවත්, මින්පසු මෙවැනි සිද්ධීන් සිදු නොවිය යුතු යැයි අවධාරණය කර එම විරෝධතාවය පැවැත්වීමට තීරණය කළෙමු.. නමුත් අපගේ සිත් වේදනාව පවා ප්‍රකාශ කිරීමට නොහැකි සහජීවන යහපාලන ආණ්ඩුවක් යටතේ අපි ජීවත්වන්නෙමු“ යැයි තම නොහැකියාව ජනතාව පවසා සිටිති..

ඉරිදා දින, කිලිනොච්චිය පාරදිපුරම් නිවසේ සිට විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ගජන්ගේ නිසල දේහය රැගෙන ගොස් ඉරණමඩු පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරිණි.

පෙරවරු 10ට ඔහුගේ නිවසේදී පැවැති පූජාවෙන් පසු අවමංගල්‍ය උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති සහ නියෝජ්‍ය මහ ඇමැති ත. කුරුකුලරාසා අවමංගල්‍ය සභාව ඇමැතීමේදී සිය දැඩි විරෝධය පළ කළ සරසවි සිසුන් එහි තිබූ මයික්රෆෝනයද ගලවා විසි කළහ. මාධ්‍යවේදීන්වද එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටි අතර, එහිදී නොසන්සුන් තත්වයක් ද ඇතිවුණි.

සිසුන්ගේ දැඩි විරෝධය හමුවේ අවමංගල්‍ය උත්සවයේදී කිසිදු දේශපාලනඥයකුට හෝ වෙනත් පුද්ගලයන්ට අවමංගල්‍ය සභාව ඇමතීමේ අවස්‌ථාවක්‌ ලබා නොදීමට සංවිධායකයන් පියවර ගත්හ. ග්‍රාමීය මට්ටමේ සංගම් සහ සිසුන් කිහිප දෙනෙකු අවමංගල්‍ය සභාව ඇමතීමෙන් අනතුරුව සරසවි සිසුන් අවමංගල්‍ය සභාව අවසන් කළේය.

ඊයේ පවන්රාජ් සුලක්‍ෂන්ගේ අවමඟුල් කටයුත්තද සිදු කෙරුණි… ඔහුගේ දෙමව්පියන්, ඥාතින්, සහ මිතුරන්ට මින්පසු ඔහුගේ නිසල දේහය පවා බැලීමට නොහැක…

ජීවිත දෙකක් උදුරාගෙන ඇත… නැවැත දේහයන් දෙකක් වලදමා ඇත.. ඉන්පසු ජීවිත උදුරාගන්නා විටත්, දේහයන් වලදමන විටත්, සිදුවන අයුරින් සාමාන්‍ය පරිදි ජනාධිපති කොමිසම් පත්කරනු ඇත. විශේෂ පොලිස් කණ්ඩායම් එවනු ඇත. පරීක්‍ෂණ කටයුතු නිමක් කොනක් නැතිව දිග්ගස්සනු ඇත. අහිමිවූ ජීවිත වෙනුවෙන් මුදල්, වරප්‍රසාද ලබාදීමට කේවල් සාකච්ඡා සිදුකරනු ඇත.

අපගේ දෙමළ නායකයන්ගෙන් රුධිර නාළ උරණ වෙන තරමට පුවත් නිවේදන මාධ්‍යවල පිරී ඉතිරි යනු ඇත… පොරොන්දු ගණනාවක් ලබා දෙනු ඇත.. තමිල්නාඩු නායකයන්ගෙන්ද උණුසුම් මාධ්‍ය නිවේදන, තමිල්නාඩු සංවිධානවලින් ඉටිපන්දම් දල්වා විරෝධතා, සහ තානාපති කාර්‍යාල වැටලිමේ උද්ඝෝෂණ ද පිටත්වනු ඇත… ඩයස්පෝරාවෙන් හැඟීම් බරව නැගී සිටිනු ඇත.. වසරක් දෙකක් සිහිපත් කිරීමේ දින සැමරුම් සිදුකරනු ඇත.. සමාජ වෙබ් අඩවිවල වාද විවාදකම්වලට නිමක් නොමැතිව පවතිනු ඇත…

දශක පහකට අධික කාලයක් දැරුවන් බිහි කළ මව්වරුන්ගේ කුසේ දැවෙන ගින්න ගජන්, සුලක්‍ෂන්ගේ අම්මාවරුන්ගේ කුසටද පැතිරුණි…

–  Nadaraja Kurubaran
– Translate by Reezah Jasmin
– Global Tamil News : Sinhala