WORLD NEWS

ඔක්ස්ෆර්ඩ් සරසවිය අවුන් සාං සුචිගේ සිතුවම් ඉවත් කරයි..

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබ ඇත.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතකයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් තවත් උපාධියක් ද එම සරසවිය විසින් පිරිනමා ඇත.

රෝහින්ග්‍යා අර්බුදයේ දී මියන්මාරයේ ‘රකයින්’ පළාතේ ජීවත් වූ හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පළා ගියහ.

මියන්මාරය තුළ ජනවාර්ගික ශුද්ධයක් සිදු කෙරෙමින් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනාවට පිළිතුරු දීමට එරට නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචි අසමත් වූවාය.

එම තත්වය යටතේ අවුන් සාං සුචිගේ රුව ඇතුළත් පින්තූරය ඉවත් කොට එම ස්ථානයේ ජපන් සිත්තරකු වන යෂිහිරෝ තකාදා ගේ සිතුවමක් තැන්පත් කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවිය පියවර ගෙන ඇත.

එහෙත් එවැනි පියවරක් ගන්නා ලද්දේ කුමක් නිසාද යන්න සරසවි පාලනය නොපවසයි. එක්තරා කාල සීමාවක් තුළ ජපන් සිතුවම එම ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන තෙක් අවුන් සාං සුචිගේ රුව ඇතුළත් පින්තූරය “ආරක්‍ෂිත ස්ථානයක” තැන්පත් කරන ලද බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ සන්නිවේදන කළමනාකරු බෙන්ජමින් ජෝන්ස් පවසයි.

කලින් පැවති යුද හමුදා පාලනය යටතේ සිරකාරියකව සිටි අවුන් සාං සුචි 2015 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවනු ලැබ ඇති සීමාවන් යටතේ ඇයට “නිල රාජ්‍ය නායකත්වය” හිමි නොවුණි.

එහෙත් “නිල නොවන” මට්ටමින් මියන්මාරය පාලනය කරන අවුන් සාං සුචි, රෝහින්ග්‍යා අර්බුදය මුල්කර ගනිමින් මේ දිනවල ජාත්‍යන්තර මට්ටමින් දැඩි පීඩනයකට මුහුණ දී සිටින්නීය.

නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන ඇය පසුගිය සතියේ පැවැත්වූ කතාවක දී මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීම් හෙළා දුටු නමුත් මියන්මාර් යුද හමුදාව විසින් වාර්ගික ශුද්ධයක් සිදු කරනු ලබන බවට එල්ල වෙමින් ඇති චෝදනාවලට පිළිතුරු නොදුන්නාය.

BBC Sinhala