WORLD NEWS

කැටලෝනියාව යළිත් සාකච්ඡා මේසයට?

සිය භූමියේ නිදහස සඳහා මහජනතාව ඡන්දය දෙන ලද නමුත් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව කැටලෝනියානු නායක Carles Puigdemont පවසයි.

ජනමත විචාරන තීන්දුව අනුව වහාම ක්‍රියාවට නැංවීම මේ මොහොතේ නතර කර සාකච්ඡා සඳහා මග විවර කර ගන්නා මෙන් ඔහු කැටලෝනියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

කැටලෝනියා නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල ජනමත විචාරන ප්‍රතිඵල අනුව එම ප්‍රදේශයේ ජනගහනයෙන් 90% කට අසන්න ප්‍රමාණයක් ‘නිදහස් කැටලෝනියාවක්’ වෙනුවෙන් මනාපය පළ කර ඇත.

එම ජනමත විචාරණය පවත්වන ලද්දේ එය නතර කරන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබියදීය.

ස්පාඤ්ඤ ආණ්ඩුව එම ජනමත විමසුම හඳුන්වන ලද්දේ ‘නීතියට පටහැනි ක්‍රියාමාර්ගයක්’ හැටියටයි.

කැටලෝනියාව ස්පාඤ්ඤ පාලනයෙන් බෙදී වෙන්ව නිදහස් රටක් වීමට අකැමති කණ්ඩායම් ජනමත විචාරණයට සහභාගීවීම වර්ජනය කළ අතර ඇතැම් වාර්තාවන්ට අනුව ඊට සහභාගී වී ඇත්තේ ජනගහනයෙන් 43% ක් පමණි.

එසේම ඇතැම් අක්‍රමිකතා පිළිබඳවත් වාර්තා වී ඇත.

ජනමත විචාරණය පෙරට යමින් තිබියදී ඡන්දදායකයන් පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ පොලිසිය මැදිහත් වීමේදී ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා විය.

කැටලන් නායකයාගේ තීන්දුව කුමක්ද යන්න පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙමින් පවතිද්දී ,අඟහරුවාදා සන්ධ්‍යාවේ සිය පාර්ලිමේන්තුව ඇමතූ ඔහු “මහජන අභිලාෂය ස්පාඤ්ඤයෙන් වෙන්වීම වන නමුත් මේ කාරණය මුල් කර ගනිමින් දැනට උද්ගතව පවතින ගැටුම්කාරී තත්වය සමනය විය යුතුව ඇතැයි කියා සිටියේය.

ජනමත විමසුම් ක්‍රියාවලිය අගය කළ කැටලෝනියානු නායක Carles Puigdemont ,ස්පාඤ්ඤ ආණ්ඩුවේ හැසිරීම සිය කතාවේ දී හෙළා දුටුවේය.

එහෙත් ඊළඟට සිදුවිය හැක්කේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් සෑම පාර්ශ්වයකටම අයත් ජනතාව අතර කණස්සල්ලක් පවතින බව ඔහු පිළිගනියි.

“අපි සමාන ප්‍රජාවක කොටස්. අපට අවශ්‍ය එකට ඉදිරියට යාමයි. ඉදිරියටම. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට” කැටලන් නායකයා සිය මන්ත්‍රීවරුන් ඉදිරියේ සඳහන් කළේය.

එහෙත් ‘මැඩ්රිඩ්’ පාලනයට අධික බදු ගෙවීමට කැටලෝනියානු ජනතාවට සිදුව ඇති බවත් ඔහු කියා සිටියි.

එම කතාව පැවැත්වෙන කාලය තුළ ‘බාසිලෝනා’ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව අවට කැටලෝනියානු පොලිසිය යොදවා තිබුණ අතර මහජනතාවට එහි ලංවිය නොහැකි මට්ටමින් ආරක්ෂක විධිවිධාන තර කරනු ලැබ තිබුණි.

එහෙත් ඒ අසල කැටලෝනියානු නිදහස් සටනට සහයෝගය පළ කෙරෙන මහජන රැළියක් පැවැත්වුණි.

– bbc.com/sinhala