WORLD NEWS

මොගඩිෂු බෝම්බ පිපිරීමෙන් දෙසීයකට අධික පිරිසක් මරුට, 300 කට වැඩි පිරිසකට තුවාලයි

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සෙනසුරාදා රාත්‍රියේ හටගත් දැවැන්ත බෝම්බ පිපිරීමෙන් 230 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කෙරෙන බව පොලිසිය පවසයි. පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ලොරියක් සංචාරක හෝටලයක පිවිසුම ආසන්නයේ දී එම බෝම්බ පුපුරවා හැරි අවස්ථාවේ තවත් සිය ගණනකට තුවාල සිදු විය.

ඉස්ලාමීය අල් ෂහාබ් සංවිධානය (Islamist al-Shabab) 2007 දී සිය කැරැල්ල ආරම්භ කළ අවස්ථාවේ සිට සෝමාලියාවේ එල්ල වූ දරුණුම බෝම්බ ප්‍රහාරය මෙයය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් දැයි තවමත් පැහැදිලි නැතත්, මොගඩිෂු අගනුවර අල් ෂහාබ් කැරලිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයකි.

ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් ජනාධිපති මොහමඩ් අබ්දුලාහි “ෆර්මජෝ” මොහමඩ් (Mohamed Abdullahi “Farmajo” Mohamed) විසින් තෙදින ශෝක කාලයක් ප්‍රකායට පත්කරනු ලැබ තිබේ.

අගනුවර පුපුරා ගිය විශාලතම බෝම්බයක සුන් බුන් අතර සිය සමීපතමයන් සිටින්නේ දැයි ඉරිදා උදෑසන එම ස්ථානයට රැස් වූ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සොයමින් සිටි බව දේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව පොලිස් නිලධාරියෙකු වන ඊබ්‍රහිම් මොහමඩ් ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

“300 කට වැඩි පිරිසකට තුවාලයි; ඒ සමහර දෙනෙකුගේ තත්වය බරපතලයි,” ඔහු පැවසීය. ප්‍රහාරයෙන් සෆාරි හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, බොහෝ දෙනා තවමත් එහි සුන් බුන් අතර සිර වී සිටින බව එම ස්ථානයේ සිටින බීබීසී සෝමාලි භාෂා සේවයේ වාර්තාකරුවෙක් පවසයි.

“ඒක තමයි මම මගේ ජීවිතේටම දැක්ක ලොකුම පිපිරීම. මුළු පළාතම විනාශ වුනා,” පිපිරීම සියැසින් දුටු ප්‍රදේශවාසියෙකු වන මුහිදින් අලි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

මේ අතර මැඩීනා (Madina) රෝහලේ අධ්‍යක්ෂ මොහමඩ් යුසුෆ් හසන් (Mohamed Yusuf Hassan) අදහස් දක්වමින්, සිදු වූ දැවැන්ත විනාශය දැක තමන් කම්පා වූ බව සඳහන් කළේය. “තුවාල ලබපු 75 දෙනෙක් රෝහලට ඇතුළත් කළා. එයින් 25 ස් දෙනෙකුගේ තත්වය බරපතලයි. තවත් සමහරුන්ගේ අත පය අහිමි වෙලා,” ඔහු පැවසීය.

“ඊයේ සිද්ද වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඒ වගේ දෙයක් මම කවදාවත් දැකල නෑ. හිතාගන්න බැරි තරම් පිරිසකට ජීවිත අහිමි වුනා. අඳුර ගන්න බැරි තරමට මළ සිරුරු පිච්චිලා ගිහිල්ල,” රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. පළමු බෝම්බයෙන් පසුව පුපුරා ගිය තවත් බෝම්බයකින් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇති බව ද බලධාරීහු සනාථ කළහ.

– bbc.com/sinhala