SRILANKAN NEWS

බැඳුම්කර කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්..

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්ෂි විමසීමේදී අමතර කරුණු හෙළි වීම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට සිදු වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරී මාසයේදීය.

ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලද අතර දෙවැනි වරට දීර්ඝ කරන ලද කොමිසමේ කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම කොමිසමේ කටයුතු මේ මස 27 වැනිදාට පෙර අවසන් කිරීමට කොමිසම සැලසුම් කර තිබුණත් කොමිසමේ සාක්ෂි විමසන අතරතුර මෙම සිදිධීන්වලට අදාළ තව තවත් කරුණු හෙළි වීම නිසා එම සිද්ධීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට සිදුවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු කළින් සැළසුම් කළ ආකාරයට අවසන් කර ගැනීමට නොහැකි වු බවද වාර්තා වේ.