WORLD NEWS

උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට ලිපියක්

ට්‍රම්ප් පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස බලවත් ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව තමන්ට ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.

උතුරු කොරියාව විනාශ කර දමන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මෙම ලියැවිල්ලෙන් හෙළා දැක තිබේ. මෙම ලිපිය වෙනත් රටවලට ද යවා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය.

මෙම ලිපිය හුදෙක් “දෝෂාරෝපණයක්” වුවත්, උතුරු කොරියාව මත යොදා ඇති රාජ්‍යතාන්ත්‍රික පීඩනය ඵලදායී බව ඉන් පැහැදිලි වෙතැයි අගමැති ටර්න්බුල් පවසයි. තනි පිටුවකින් යුත් මෙම ලිපිය එවා ඇත්තේ ඉන්දුනීසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහා ය.

මෙය උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව විසින් ලියන ලද්දක් ලෙස ලිපියේ සඳහන් වෙයි. “ට්‍රම්ප් පරිපාලනයේ සාහසික සහ ඔළමොට්ටළ ක්‍රියාවන්ගෙන්” අනෙකුත් රාජ්‍යයන් ඉවත් වී සිටින ලෙස මෙම ලිපියෙන් දැඩි ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම එක්සත් ජනපදය වගකිව යුතු “භයංකාර න්‍යෂ්ටික විනාශයක්” සිදුවිය හැකි බව ද එම ලිපියෙන් නැවත සිහිපත් කර ඇත.

අගමැති ටර්න්බුල් කියා සිටියේ “ජපානයට, දකුණු කොරියාවට සහ ඇමරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින්” උතුරු කොරියාව උණුසුම් වාතාවරණයක් බිහිකර ඇති බවය.

චක්‍රලේඛයක් ලෙසින් මෙම ලිපිය තවත් රටවල් බොහොමයකට යවා ඇති බව ඔස්ට්‍රේලියාවේ 3AW ගුවන්විදුලි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති ටර්න්බුල් පැවසීය. ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනි ජුලී බිශොප් මෙම ලිපිය හැඳින්වුයේ උතුරු කොරියාව විසින් තබන ලද “පෙර නොවූ විරූ” පියවරක් ලෙසිනි.

නමුත් මෙම ලිපිය එතරම් වැදගත් දෙයක් නොවන බව පෙන්වා දෙමින් අගමැති ටර්න්බුල් කියා සිටියේ මෙය හුදෙක් “ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන පැමිණිලි කරමින් වහසි බස් දෙඩවීමක්” පමණක් බවය.

කිම් ජොන්ග් අන් ගේ ආධිපත්‍යයට එරෙහිව ඇමරිකානු ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් “විනාශකාරී දෙයක් සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇති බවට උතුරු කොරියාව පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීය.

bbc.com/sinhala