SRILANKAN NEWS

කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලූදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූදෙනාගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළේය.

ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.