SRILANKAN NEWS

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම වෘත්තීය ජනමාධ්‍යවේදීන් හෙළා දකී

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.මේ එම සම්පූර්ණ නිවේදනයයි.

මාධ්‍ය නිවේදනය

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කළෙමු. මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදීයකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්ධනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිවුස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

සභාපති                                      ලේකම්
ලසන්ත රුහුණගේ                  දුමින්ද සම්පත්