SRILANKAN NEWS

අරියාලයි වෙඩි තැබීමේ සිද්ධිය – සැකකරුවන් හඳුනාගෙන නැහැ

යාපනය අරියාලයි ප්‍රදේශයේ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ නඩුවේදී සැකකරුවන් වන පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සෙබළුන් දෙදෙනාව සාක්‍ෂිකරු හඳුනාගෙන නොමැති බව වාර්තාවේ.

යාපනය අරියාලයි ප්‍රදේශයේ පදිංචි ඩොන් බොස්කෝ රික්මන් (වයස 24) නැමැති තරුණයා පසුගිය මස 22වනදා සිඳුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වුණි.

ඉකුත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පන්නයි ප්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සේවය කරන මල්ලවරාච්චි ප්‍රදීප් නිෂාන්ත සහ රත්නායක මුදියන්සලාගේ ඉන්දික පුෂ්පකුමාර නැමැති දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

මෙවැනි තත්වයකදී අදාළ නඩුව අද බ්‍රහස්පතින්දා දින යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්දරන් ඉදිරියේ විභාගයට ගත් අතර, අධිකරණයේදි සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සිඳු කෙරුණි. එහිදී ප්‍රධාන සාක්‍ෂිකරු වන මියගිය තරුණයා සමඟ යතුරු පැදියේ ගමන් කළ නිෂාන්දන් නැමැති තරුණයා සැකකරුවන්ව හඳුනාගෙන නොමැත.

අනතුරුව සැකකරුවන් සතුව තිබී සොයාගත් පිස්තෝලය සහ මියගිය තරුණයාගේ ශරීරයේ තිබූ රුධිර සාම්පල් රස පරික්‍ෂණයට යවා ඇති බව පොලිසිය විසින් අධිකරණය වෙත දන්වා තිබේ.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ පී. මෝහනදාස් විසින් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනමුත්, මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්‍ෂේප කළ අතර, නඩුව ලබන 30දාට කල් තැබුවේය.