SRILANKAN NEWS

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ ඇති වූ ප්‍රශ්ණය ජාතිවාදී ප්‍රශ්ණයක් බවට පත්කරන්න එපා – සාගල රත්නායක

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වන බවට වාර්තාවී ඇති බවත්, එම නිසා මහජනතාව එවැනි අන්තවාදී කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද පෙන්වාදී තිබේ.

දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් සිටින බව පවසා සිටි අමාත්‍යවරයා මේ වන විට ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ද පවසා තිබේ.

ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.