SRILANKAN NEWS

යාපනයේ පුද්ගල පහරදීම් සම්බන්‍ධයෙන් 47ක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යාපනය – කෝපායි – මානිප්පායි යන ප්‍රදේශවලදී පුද්ගලයින්ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදුවන බවයි.

විමර්ශන කටයුතු සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනය වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

කෝපායි, මානිප්පායි – යාපනය සහ චුන්නාකම් ප්‍රදේශවල ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී අදාළ සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.