ARTICLES SRILANKAN NEWS

ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්.!

ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම වූ ‘සිදුවීමක්‘ ගිංතොට ද සිදුව ඇත. සැගවීම තුල සංහිදියාවක් ඇති කර ගත නොහැකි අතර සත්‍යය හෙළි කළ යුතුව ඇත.

රෝද දෙකේ බයිසිකලය ‘තනි රෝදයෙන්‘ පදින්නට ගොස් මුස්ලිම් තරණයෙකු අනතුරට පත්වීම හා එය සිංහල – මුස්ලිම් තරුණයින් අතර ගැටුමක් බවට පත්වීම අරුමයක් නොවේ. එම සිදුවීම කලබැගෑනියක් බවට පත් කොට ඇත්තේ ‘බුදුන්ගේ ධාතුවක්‘ ඇතැයි කියන අනුරාධපුර පන්සලක නමින් ඇති පන්සලකට රැස්වු ‘තංගල්ල හා අම්බලන්ගොඩ‘ නම් ඇති දෙදෙනෙකු විසිනි. මුස්ලිම් ජනයා බහුලව සිටින පෙදෙසේ පිහිටි ‘සෝමාරාමය හා ගංගාතිලකය‘ යන පන්සල් මෙයට සම්බන්ධ නැත.

සිංහල ජනතාව බහුලව සිටින ප්‍රදේශයේ පිහිටි උක්වත්ත චන්දිම හිමියන් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි. නෙළුම් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට සුදානම් ය.

මෙවර මැතිවරණයේ එජාපය නියෝජනය කරමින් සභාපති ධූරය ලබාගන්නට නියාස් හා අමිල නුවන් ලොකු තරගයක සිටී. සැබෑ ලෙසම ගැටුමට එක් හේතුවක් වන්නේ එජාප ලැයිස්තුවේ ඇති මේ හබය යි.

ඊයේ මුල් සිදුවීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශය වෙත යොමු කර තිබුණි. ගාල්ලේ දේශපාලනඥයෙකු විසින් රාත්‍රීයේ එම සෙබළුන් ඉවත් කිරීමට උපදෙස් දී ඇත. රාත්‍රී 08.30 ට පමණ ගැටුම් ඇති වී ඇත්තේ පොලීසිය ඉවත් කිරීමෙන් පසුවය.

ගැටුම් හේතුවෙන් නිවාස හා වෙළෙද ස්ථාන 66 ක්, වාහන 14 කට කුමන හෝ ආකාරයක අලාභයක් සිදුවී ඇත. එයින් බහුතරය මුස්ලිම් ජාතිකයින් සතු දේපල වුව ද, සිංහල ජනතාව ගේ දේපල ද මේ අතර වේ. ගිණි තැබීම් හේතුවෙන් හානි වූ නිවාස ද ජාතීන් දෙකටම අයත් පිරිසගේ ය.

අද ගැටුමෙන් පසුව සාම කමිටුවේ සභාපති ලෙස පත් කොට ඇත්තේ ‘ගැටුමට සම්බන්ධව ජනතාව එක් වූ පන්සලක හිමිනමකි. ගැටුමේ පාර්ශයක් යැයි චෝදනා එල්ල වූ තැනක උදවිය ‘සාම කමිටුවක‘ ප්‍ර‍ධානීත්වයට පත් වන්නේ ‘ගැටුම් නිරාකරණයේ‘ කුමන නිර්ණායක යටතේ ද යන්න ඇමති වජිර අබේවර්ධන හා ගාල්ලේ දිසාපතිගෙන් ඇසිය යුතුව ඇත.

ගැටුමක් ඇතිවිය හැකි තැනක, රාත්‍රීයේ පොලීසිය ඉවත් කිරීම, හා ඉන් පසුව ප්‍ර‍හාර එල්ල කිරීම අලුත්ගම, දර්ගා නගරයේ ද ප්‍ර‍හාරයේ ස්වභාවය විය. ගිංතොට ද සිදුව ඇත්තේ එයම ය. මෙය සිංහල – මුස්ලිම් ගැටුමකට වඩා පළාත් පාලන ඡන්දය ඉලක්කකොට ගත් ‘ඉඩ කඩ ලබාදීමෙන් පසුව සිදුවූ ගැටුමකි‘.

සිද්ධිය සැකෙවින්:

මහහපුගල දී නොවැ. 13 බයිසිකල් අනතුරක් සිදුවන අතර සිංහල යතුරුපැදිකරු රු. 25,000 ක් අගතියට පත් මුස්ලිම් පාර්ශවය වෙත ගෙවා සිද්ධිය පොලීසියේ දී සමතයක පත්වී ඇත.

නොවැ. 16 දින සිංහල පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මුස්ලිම් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී ඇත. ඔවුන් කිසිවෙකු 13 දින සිදු වූ බයිසිකල් අනතුරට සම්බන්ධ නැති පිටස්තරයිය.

නොවැ. 16 දින හිටපු එජාප නාගරික මන්ත්‍රී කීයාස් (කයිම් හුසේන්) සමග පැමිණි කණ්ඩායමක් සිංහල පුද්ගලයින්ගේ නිවාස 2 කට පහර දී ඇත.
පොලීසිය අමාත්‍ය වජිර අබේවර්ධන ගේ සමීපතමයෙකු හා මැතිවරණයේ දී සභාපති ධූරය අපේක්ෂා කරන කීයාස් අත්අඩංගුවට පත් විය. පසුව කීයාස් නිදහස් කරනු ලැබීය.

පොලීසිය විසින් මුස්ලිම් අයට පහර දුන් සිංහල පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත. දැන් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක පවසන්නේ ගිංතොට ථුපාරාමයේ දී අම්බලන්ගොඩ සුමේදානන්ද හිමි හා තංගල්ල අනුරුද්ධ හිමි විසින් ප්‍රකෝප කරවන ලද පිරිස් නොවැ. 17 දින රාත්‍රී ගැටුම් ඇති කළ බවයි. එය සත්‍යයකි. (එය ඊයේ මා ලියූ සටහනේ ද නම් රහිතව දැක්වේ.)

පොහොට්ටු අපේක්ෂක හිමියන් ?

1997 බෝපේ පොද්දල සභාවට පුටුව ලකුණින් තරග කළ .උක්වත්ත චන්දිම හිමියන්ගේ පන්සලට එදින සවස මොල්ලිගොඩ, බිම්බිරිගොඩ හා උක්වත්ත ගම්මානවල වැසියන් එක් වී ඇත.

එම පිරිස අතර ‘හපුගල‘ ගමේ වැසියන් ද විය. රාත්‍රී 8.30 ට පමණ ප්‍ර‍හාරය එල්ල කළේ ද, උත්සන්න කළේ ද එම පිරිස ය.

පිටතින් පැමිණි මෙම පිරිසගේ ප්‍ර‍හාරයෙන් මුස්ලිම් බහුතරයකගේ දේපල පමණක් නොව සිංහල අයගේ දේපල ද හානි වී ඇත.
මෙහි දී අවධාරණය කළ යුත්තේ ගැටුම ඇති වූයේ එකම ගමේ මුස්ලිම් – සිංහල අය අතර නොවන බවයි!

චන්දිම හිමි සහ ගැටුම සිදුවන විට එහි සිටි අනෙක් ප්‍රාදේශීය දේශපාලනඥයා වන මාදුගොඩ මහතා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට සුදානම් අය ය. (හිටපු සභාපති මාදුගොඩ මහතා හපුගල පදිංචිකරුවෙකි)

වජිරගේ අපේක්ෂකයින් දෙදෙනා:

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගේ ප්‍ර‍ධාන එජාප අපේක්ෂකයින් දෙදෙනා කීයාස් හා අමිල නුවන් ය. ඔවුන් දෙදෙනාම සභාපති ධූරයේ තරග කරුවන් ය. දෙදෙනාම සිංහල – මුස්ලිම් විරෝධය මත තම දේශපාලන පැවැත්ම සකසා ගෙන ඇත. දෙදෙනාම ගැටුමට සෘජුව සම්බන්ධය.

මෙම ගැටුම ඇරඹීමට පෙර ගාල්ලේ එජාප ප්‍ර‍බලයින් ඇතිවිය හැකි තත්වය පිළිබද රටේ ඉහළම දේශපාලන නායකත්වයට දැනුම් දී ඇත. ඒ අතර, ගිංතොට පාරම්පරික එජාප බලවත් ද වෙති.

නමුත්, ගැටුම වලක්වන්නට අතිරේක පොලිස් ආරක්ෂාව ලැබුණේ නැති වා පමණක් නොව තිබූ ආරක්ෂාව ද දැවැන්ත දේපල විනාශයක් සිදු කිරීමට අවශ්‍ය ලෙස සැලකිය යුතු වේළාවකට ලිහිල් විය.

මෙය ගැටුම දර්ගා හා මාවනැල්ල ගැටුම්වල මුලික ව්‍යුහය හා සර්ව සම ය. ඒ ලෙසම අවසනාවන්තය. ඒ ලෙසම දේශපාලන අවස්ථාවාදය පෙරදැරිව සිදුව ඇත.
වාසි බලන කණ්ඩායම් තුනක් ?

මෙම ගැටුම නිසා සෘජු වාසි බලන කණ්ඩායම් තුන කි.

1. එයින් පළමු කණ්ඩයම, ගිංතොට සභාපති පුටුව කීයාස් ට හිමිවීම වැලැක්වීමට උත්සහ කරන එජාපයේ හා පොහොට්ටුවේ කණ්ඩායම් ය. (ප්‍රාදේශීය දේශපාලනය)

2. සදුදා බැදුම්කර කොමිසමේ දී සාක්ෂි ලබාදෙන විට රට ගිණි ජාලාවක් කොට එහි අවධානය වෙනතකට යොමු කිරීම තුලින් වාසි ලැබිය හැකිව තිබූ පිරිස ය. (ජාතික දේශපාලනය)

3. තෙවැන්න, අද ලංකාවේ සෑම දෙයකටම බැනුම් ඇසු, එදා දර්ගා හා මාවනැල්ලේ මුස්ලිම් – සිංහල ගැටුම්වලින් දේශපාලනික අවාසියක් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ගේ නෙළුම් පොහොට්ටු කණ්ඩායම ය. (එජාප රජයක් යටතේ ද, මුස්ලිම් ජාතිකයින් අනාරක්ෂිත බව තහවුරු කිරීමට මේ සිදුවීම ප්‍ර‍මාණවත් ය. සැබවින්ම, රජයටත්, රජයේ දේශපාලනඥයින්ටත් අවශ්‍ය නම් මේ ගැටුම වලක්වාගත හැකිව තිබුණි. එය සිදු කළේ නැත.)

පළමු සිදුවීම සාමාන්‍ය රිය අනතුරකි:

නොවැ. 13 දින පළමු සිදුවීම සාමාන්‍ය රිය අනතුරකි. (ලංකාවේ දිනකට රිය අනතුරු 130 ක් පමණ සිදුවන අතර 8 දෙනෙකු එයින් මිය යයි.)
නොවැ. 16 දින මුස්ලිම් අයට සිංහල අය පහරදීම මගින් ජාතිවාදී ගැටුමක් බවට පරිවර්ථනය විය.

එජාප මුස්ලිම් දේශපාලනඥ කීයාස් හා කණ්ඩායම විසින් එළිපිට සිංහල ජාතිකයින්ගේ නිවෙස් 2 කට පහර දී එය ජාතිවාදී ගැටුමක් බවට පත් කළේය.
එමගින් ඔහු මුස්ලිම් ජාතික ඡන්ද කදවුර ස්ථාපනය කර ගැනීම අපේක්ෂා කරන්න ඇත.

බැදුම්කර සාක්ෂිය වෙත අවධානය අවම කිරීම :

ඉහළ දේශපාලනඥයින් රට පුරා ගැටුමක් බැදුම්කර සාක්ෂිය වෙත ඇති අවධානය අවම කිරීම අපේක්ෂා කළ බව පැහැදිලිය.
උක්වත්ත පන්සලේ සිට සිදු වූ මෙහෙයුම ‘පොහොට්ටු‘ දේශපාලනය යි. ජාතික දේශපාලනයේ දී ගැටුමේ උපරිම වාසිය එම කණ්ඩායමට නුදුරේ දී ලැබෙනු ඇත!

මේ සියල්ලේම එකතුව පහත ඡායාරූපවලින් දැක්වෙන ව්‍යසනය යි. මෙය සිංහල – මුස්ලිම් ගැටුමක් නොව ‘ප්‍රාදේශීය හා ජාතික දේශපාලනයේ කොටසකි.

(රජිත් කීර්ති තෙන්නකෝන්- විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය)