ARTICLES

මහින්දව ධූරයේ පත්කිරීමට දඟලන දේශපාලනික ව්‍යාපාරිකයන්ගේ ජීවිකාව පමණක් සරුවට තිබෙනු ඇත / පව් ජනතාව – නඩරාජා ගුරුබරන්

මහින්ද ගෝඨා“ප්‍රථමයෙන්, හුස්ම ගැනීමට නම් ඔක්සිජන් අවශ්‍යයයි, විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයටද ඇයි මාධ්‍යවේදීන් වන ඔබලාටද එය අවශ්‍යවේ“ යැයි උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ද සහභාගි කරවා ගනිමින් කොළඹදී පැවැත්වූ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව අමතමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි. මෙහිදී ඔහුව උදාහරණයකට ගැනීමක් මිස ඔහු ශ්‍රේෂ්ඨයකු යැයි අර්ථවත්වන්නේ නැහැ…. ඔහු පැවැසූ ප්‍රකාශනය මෙහිදී සඳහන් කළෙමි.

නිදහසින් පසු පසුගිය වසර 67ක කාල වකවානුවකදී ශ්‍රී ලංකාව පාලනය කළ සෑම ආණ්ඩුවක්ම, නැතිනම් ආණ්ඩුවක් පිහිටුවූ සන්ධාන ආණ්ඩු හා තනි පක්‍ෂයන්ද දෙමළ ජනතාවගේ – සුළු ජාතිකයන්ගේ යහපත උදෙසා ක්‍රියා කළ බවට කිසිම උදාහරණයක් නැත.

ඩි.එස්. සේනානායක – ඩට්ලි සේනානායක – සර් ජෝන් කොතලාවල – ජේ.ආර්. ජයවර්ධන – රණසිංහ ප්‍රේමදාස – ඩි.පි. විජයතුංග – රනිල් වික්‍රමසිංහ ලෙස පැමිණි එක්සත් ජාතික පක්‍ෂය හෝ නැතිනම් එස්.ඩබ්ල්යු.ආර්.ඩි. බණ්ඩාරනායතක – දසනායක – ශ්‍රීමාවෝ බණ්ඩාරනායක – චන්ද්‍රිකා බණ්ඩාරානායක – මහින්ද රාජපක්‍ෂගෙන් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එකිනෙකා තරඟකාරි ලෙස ජාතිවාදය වපුරා ජාතිවාදය තම දේශපාලනික පැවැත්මේ මුලධනය ලෙස භාවිතා කිරීමේ කාරණාව සියළු දෙනාම දන්නා කරුණකි.

තවද, ද්විත්ව ආචාර්‍ය නාමයක් ලැබූ වමාංශික නායක කොල්වින් ආර්.ඩි. සිල්වා – එන්.එම්. පෙරේරා – පීටර් කෙනමන් – තිස්ස විතාරණ – වාසුදේව නාණයකාර – ඩියු ගුණසේකර – වැනි වාමාංශික නායකයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වී ආණ්ඩුවක් පත්කළ සෑම කාලයකදීම සුළු ජාතිකයන්ට එරෙහි ක්‍රියා කටයුතුවලට ආණ්ඩුවට සහයෝගය ලබාදුන් කාරණාව ඉතිහාසය කිසිදිනක අමතක කරන්නේ නැහැ….

මෙය සියල්ල අභිබවා තනි සිංහල නීතිය ඉදිරිපත් කළ බණ්ඩාරනායකගේ මරණයෙන් පසු පාලනයට පැමිණි ශ්‍රීමාවෝ බණ්ඩාරනායකගේ පාලනයදී 1972දී බ්‍රිතාන්‍යා රාජකීය පාලන ක්‍රිමය නිමා කළ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවදී 1947 සෝල්බරි දේශපාලනික ව්‍යවස්ථාවේ නමට පමණක් හෝ තිබූ ( එම වගන්තියන් ප්‍රායෝගිකව පරාජ රැසකට මුහුණදීමට සිඳුවුණි ) සුළු ජාතිකයන්ට සහතික රක්‍ෂණයක් ලෙස පැවැති සියළු දැය ඉවත් කෙරුණි.

29වැනි වගන්තිය, සෙනට් සභාව, පත්වීම් සාමාජිකයන්, බහු සාමාජික මැතිවරණ කොඨාශ, විනිෂ්චයක කමිටුව, දේශපාලනික ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ 2/3ක බහුතරය, පොදු සේවා කොමිසම, මුල්‍ය සේවා කොමිසම, යන කරුණු 7 ඉවත්කර ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත්, රාජ්‍ය භාෂාව සිංහල භාෂාව පමණක් යැයි ව්‍යවස්ථාව සැකසූ සාඩඩම්බරය වමාංශික රජු කොල්වින් ආර්.ඩි. සිල්වාට හිමිය. 1972 වසරේ 1වැනි ජනරජ දේශපාලනික ව්‍යවස්ථාව නිර්මාණය කළේ මෙම කොමුයුනිස්ට් ද්විත්ව ආචාර්‍යවරයා බව ශ්‍රී ලංකාවේ සිටින වාමාංශිකයන්ව තවඳුරටත් විස්වාසය කරන සත්පුරුෂයන්ට අමතකවී ඇත්දැයි නොදැන්නෙමු.

පාර්ලිමෙන්තුවට එපිට කොළඹ නවරඟල ශාලාවේදී එක්රැස්වූ ශ්‍රී ලංකා දේශපාලනික පක්‍ෂයන් ඇතුලත් ව්‍යවස්ථාව නිර්ණ සභාව විසින් සිඳුකළ ව්‍යවස්ථා විප්ලවය පළමු ජනරජයේ දේශපාලනික ව්‍යවස්ථාව ලෙස පත්කෙරුණි. මෙම ව්‍යවස්ථාව සැකසීමදී දෙමළ ජනතාව පාර්ශවයෙන් ඉදිරිපත් කළ යෝජනාවන් ප්‍රතික්‍ෂේප කර ඇතයි පවසා දෙමළ පක්‍ෂයන් ව්‍යවස්ථා නිර්ණ සභාවෙන් ඉවත්ව ගොස් තිබුණි. එක්සත් ජාතික පක්‍ෂයද එය ප්‍රතික්‍ෂේප කර තිබුණි. අනතුරුව වාමාංශිකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්වී ශ්‍රී ලංකාව තනි සිංහල බෞද්ධ රටකි යන ව්‍යවස්ථාව සකසා එය අනුමත කරගත්තෝය.

ඉන් පසු, 70 දශකයදී සිට දෙමළ ජනතාවගේ අරගලයන්ද පිබිදීමට ආරම්භවිය. අනතුරුව 1977 මැතිවරණයදී ශ්‍රීමාවෝ මැතිණියගේ සන්ධාන ආණ්ඩුවෙහි දැවැන්ත පරාජ ජේ.ආර්. ජයවර්ධන නැගී සිටීමට රුකුලක්වූ පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයදී අප්පාපිල්ලේ අමිර්දලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ විමුක්ති සන්ධානය විපක්‍ෂයක් ලෙස පාර්ලිමෙන්තුවදී අසුන් ගැනීමේ අවස්ථාවක්ද උදාවුණි.

ඒ සමඟ 1977දී පළමු වරට තුනෙන් දෙකක බහුතර බලයකින් පාලනයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතා 1978දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළේය. එමඟින් තමන්ව විධායක ජනාධිපති ලෙස පත්කරගත් ඔහු පිරිමියකුව කාන්තාවකු බවටත් කාන්තාවකුව පිරිමයකු බවටත් වෙනස් කිරීම හැර අන් සියළු දැය තමන්ට කළ හැකි යැයි පැවැසූ රාජ්‍ය නායකයකු බවට පත්විය.

අමාත්‍යවරුන් සියළු දෙනාගෙන්ම පෙරාතුවම ඉල්ලා අස්වීමේ ලිපිය ලබාගෙන අමාත්‍ය ධූරයන් ලබාදුන්නේය. පළමු ධූර කාලයදීම තමන්ට එරෙහිව තරඟ කළ හැකි ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සිවිල් අයිතිවාසිකම අහෝසි කළේය. (දැන් සරත් ෆොන්සේකාගේ සිවිල් අයිතිවාසිකම මහින්ද රාජපක්‍ෂ මහතා උදුරාගත් ආකාරයට)

එමෙන් 1982දී පළමු ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරඟ කළ හෙක්ටර් කොප්පෑකඩුව මහතාව පරාජය කර ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණයදී පහසු ජයක් අත්පත්කර ගත්තේය. පාර්ලිමෙන්තු පාලනය එම බහුතර බලයම යොදා තවත් වසර 6කට දීර්ඝ කළේය. පාර්ලිමෙන්තු කාලය දීර්ඝ කිරීම සඳහා සර්වජන ජන්දයක් පවත්වා එහිදීද ජයග්‍රහණය හිමිකර ගත්තේය.

ඔහු තම කාලයදී දකුණේ පැවැති අනෙකුත් දේශපාලනික පක්‍ෂවලට එරෙහිව බොහෝ බාධාවන් ඇති කළේය. නව සමසමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න, වාසුදේව නානයකාර, ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජයවීර ඇතුළු පිරිසව සිරගත කළේය. ඔවුන්ගේ පක්‍ෂයන් තහනම් කළේය. පසු තහනම ඉවත්කර නිදහස් කළේය.

ඉතිහාසයදී කිසි දිනක අමතක කිරීමට නොහැකි 1983 කැරල්ල, යාපනය පුස්තකාලයට ගිනි තැබීම, වැනි ඛේදවාචක සිද්ධියන් සියල්ල සිඳුවුයේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයදීය.

නමුත් තුන්වන වරට ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව එවකට අගමැති ලෙස කටයුතු කළ ප්‍රේමදාස මහතා ලබා නොදුන් අතර එය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙන ඒමටද ජේ.ආර්. ජයවර්ධන මහතාට නොහැකිවුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවරක් පාලනය කිරීමෙන් පසු ජේ.ආර් ජයවර්ධන මහතා විශ්‍රාමයට ගොස් රණසිංහ ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂාය ලෙස ඉදිරිපත්වී ජයග්‍රහණයද අත්පත්කර ගත්තේය. 1977 සිට ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසු ඩි.පි. විජයතුංග මහතා ධූරයේ සිටි වසරක කාලය හැර 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පාලනය අත්පත්කර ගන්නාතෙක් වසර 17ක කාලයක් එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකාව පාලනය කරමින් සිටියේය.

1988දී නිමාවූ ජේ.ආර්. ගේ පාලනයෙන් පසු 1989 ජනවාරි 2 සිට 1993 මැයි 1 වැනි දින කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියයන තෙක් රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ තෙවන ජනාධිපතිවරයා ලෙස පාලනය කළේය. ඔහුගේ පාලන කාලයද ඉතා මතභේදාත්මක කාල වකවානුවක් ලෙස තිබුණි.

නමුත් ග්‍රාමෝදය සංවර්ධනය, ගම් උදාව, නිවාස ව්‍යාපෘතිය ඇතුළු ග්‍රාමීය සංවර්ධන කටයුතු රැසක් සිඳුකර දිළිදු ජනයාගේ නායකයා, ග්‍රාමීය ජනයාගේ නායකයා යන නම සිංහල ජනතාව අතරින් තමන්ට හිමිකරගත්තේ ප්‍රේමදාස මහතාය.

ඔහුගේ පාලන කාලයදී නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණයෙහි දෙවන කැරල්ල අනුකම්පා විරහිතව මර්ධනය කෙරුණි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුල්ලිවායිකාල්වලට සාමානව 1988 – 1989 – 1990දී දකුණේ වැව් ගංගාවල තරුණ තරුණියන්ගේ මළ සිරුරු පාවුණි. ජ.වි.පෙ. – ප්‍රේමදාස ගැටුමදී 50 දහසකට අධික තරුණ තරුණියන් ඇතුළු දකුණේ ජනතාවන් ඝාතනයවී, අතුරුදහන්විය. මෙම කාල වකවානුවදී බටලන්ත වදහිංසාගාරය ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතාටද එහි සම්බන්‍ධයක් තිබෙන බවට ජ.වි.පෙ. චෝදනාකරමින් සිටියි. 1971 කැරල්ල ශ්‍රීමාවෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සන්ධාන ආණ්ඩුව විසින් මර්ධනය කළ අතර දහස් ගණනක පිරිසක් ඝාතනයවී අතුරුදහන්විය. 1988 – 89 කැරල්ල එක්සත් ජාතික පක්‍ෂය විසින් මර්ධනය කෙරුණි.

ප්‍රේමදාස මහතාගේ පාලන කාලයදීද මාධ්‍ය මර්ධනය දියත්කළ අතර යුක්තිය පුවත්පත් මුද්‍රාණලය විනාශකර දැමුණි. රිච්චර්ඩ් සොයිසා මහතාද ඝාතනයට පත්වුණි.

එක් අවස්ථාවකදී ප්‍රේමදාස මහතාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් අමාත්‍යවරුන් වන ලලිත් අතුලත්මුදලි, ගාමිණි දිසානායක, ගාමිණි අතුකෝරළ ඇතුළු ශ්‍රේෂ්ඨ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කෙරුණි…. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් බහුතරයක අත්සන සහිතව එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අවස්ථාවක හිටපු කථා නායක බාකීර් මාක්කර් මහතාව එයට පෙර දින රෑ ප්‍රේමදාස මහතා තර්ජනය කර හෝ – මුදල් ලබාදී හෝ තම පැත්තට නමාගත් බවත්, විස්වාසභංග යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම මැඩපැවැත්වූ බවද එම කාලයදී තොරතුරු හෙලිවී තිබුණි.

දිගින් දිගටම ඇතිවූ මතභේදාත්මක තත්වයන් නිසා ශ්‍රේෂ්ඨ සාමාජිකයන් බොහෝ දෙනෙකු ඉවත්වී ප්‍රජාතාන්ත්‍රික ජාතික පෙරමුණ නැමැති ව්‍යාපාරය ආරම්භ කර තිබුණි. එම අරගලයත් ප්‍රේමදාස – ලලිත් – ගාමිණි යන පිරිස ඝාතනයවීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂයේ පැවැත්ම අවසන්වුණි.

1994 මැතිවරණයදී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂයාට එරෙහිව තරඟ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එතෙක් කිසිවකු ලබානොගත් අධික ජන්ද ප්‍රමාණයක් ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂයෙහි වසර 17ක පාලනයට තිත තැබුවාය.

මෙම මැතිවරණයදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තකර තිබූ අතර මැතිවරණ කාලයදී 16 දෙනෙකු ඝාතනයට පත්වුණි. නමුත් මැතිවරණ දෙපාර්තුමෙන්තුව හෝ මැතිවරණ කොමසාරිස්වරයාවද එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙල්ලකර මැතිවරණ ප්‍රතිඵලවල වෙනසක් ඇති කිරීමට නොහැකිවුණි.

1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙතෙක් රට පාලනය කළ ජේ.ආර්. සිට මහින්ද රාජපක්‍ෂ මහතා දක්වා සාපේක්‍ෂක වශයෙන් ඇය වෙනසකින් යුතුව සිටියි. විශේෂයෙන් මර්ධනය, වංචා දූෂණ, බලතල අයුතු ලෙස භාවිතා කිරීම වැනි කටයුතුවල පෙර පාලනය කළ පුද්ගලයන් හා පසුව පාලනය කළ මහින්ද රාජපක්‍ෂ මහතා යන අය අතරින් සංසන්දනය කර බැලීමෙන් මදක් වෙනසකින් යුතුව සිටියි.

මාධ්‍ය නිදහස, මුල්‍ය අංශය, පොදු සේවාව, මැතිවරණ දෙපාර්තුමෙන්තුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ජාතික පොලිස් සේවාව යන අංශයන් කෙරෙහි අධික වශයෙන් මැදිහත් නොවිය. තවද විශේෂයෙන් 2001දී ඉදිරිපත් කළ 17වැනි සංශෝධනය මඟින් 1978දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දරුණුකම පුළුල් කළ විශේෂත්වයද චන්ද්‍රිකාට හිමිය.

පරිපාලන ක්‍රමය, රාජ්‍ය ක්‍රමය තවඳුරටත් ප්‍රජාතන්ත්‍රවාදය කිරීමේ අරමුණින් විපක්‍ෂයේ සහයෝගය ඇතිව මෙම සංශෝධනය චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කළ බවට එවකට දේශපාලනික විචාරකයන් පවසා තිබුණි.

එමඟින්,
01- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
02- පොදු සේවා කොමිසම
03- මැතිවරණ කොමිසම
04- මුල්‍ය සේවා කොමිසම
05- ජාතික පොලිස් සේවා කොමිසම වැනි අංශයන් පත්කෙරුණි.

මෙමඟින් ජනාධිපතිවරයකුගේ බලය චන්ද්‍රිකා විසින් සීමා කෙරුණි… නමුත් විධායක බලය අහෝසි කිරීමට එදා ඔහුගේ පක්‍ෂයතුලද, පිටතද, දැනට තිබෙන අයුරින් තමන්ට සහයෝගය නොලැබුණු බව පවසා සිටියි.

නමුත් දැන් 18 සහ 19 වැනි සංශෝධනය මඟින් පිරිමියකුව කාන්තාවක් බවටද කාන්තාවකුව පිරිමයකු බවටද වෙනස් කළ හැකි සර්ව බලය රාජපක්‍ෂ ඇන්ඩ් කැම්පැනි විසින් ජනාධිපතිට ලබාදී තිබේ.

නමුත් චන්ද්‍රිකාගේ කාලයදී, සටන කර්තෘ සටන කුමාර, තාරකි සිවරාම් යන පිරිස ඝාතනයට පත්වුණි. යුද කාලයදී පුවත් වාරණයක් ක්‍රයාත්මකව තැබුවාය, 1995දී ප්‍රථම වරට යාපනයෙන් දෙමළ ජනතාව අවතැන් කළාය. මෙම සිඳුවීම් අයිතිවාසිකම ඉල්ලා සිටි දෙමළ ජනතාව පීඩාවට පත්කළ සිද්ධියන් යන කාරණාවට එපිට දරුණු ජාති විමුක්ති සටනක් පැවැති කාලයකදී බහු ජාතිකයන්ගේ ජනාධිපතිවරයකු වශයෙන්, සිංහල ජනතාව නියෝජනය කරමින් සිටි නමුත් 1978න් පසු පැමිණි රාජ්‍ය නායකයන් අතර ලිහිල් භාවයකින් කටයුතු කළ, අවම වශයෙන් හෝ දේශපාලනික පාලන සංස්කෘතිය රැක ගැනීමට උත්සහ කළ අයකුවීම පෙන්වාදිය යුතුය. විශේෂයෙන් විධායක බලතල යුතු ජනාධිපතිවරයකු ලෙස සිටියත් පාර්ලිමෙන්තු මැතිවරණය යම් ප්‍රමාණයකින් හෝ ස්වාධීනව පවත්වා තිබුණි.

කෙසේ නමුත් තමන් සමඟ සන්ධානගතවී ආණ්ඩුවක් පත්කළ ජනතා විමුක්ති පෙරමුණයෙහි බලපෑම්වලට සහ තම පක්‍ෂයේ දරුණු මතවාදීන්ගේ බලපෑම්වලට යටත්වී සාම සාකච්ඡා කාලයදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ සිද්ධිය විමර්ශණාත්මක කරුණකි.

එය සියල්ලට වඩා තම ධූර කාලය පිළිබඳ මතභේදයක් ඇතිවූ අවස්ථාවේ අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් ලබාදුන් තීන්දුව පිළිගෙන තම ධූර කාලය වසර 11කින් නිමාකරගත්තාය. එහිදී ඇය අධිකරණ අංශයට කිසිම බලපෑමක් එල්ල කිරීමට තැත් කළේ නැත.

මෙලෙස 1948 සිට 2005 දක්වාවූ වසර 57ක කාලයේ ආණ්ඩු සහ පාලකයන් කිසිවකු සමඟ කිසිම ආකාරයකින් සන්සන්දනය කළ නොහැකි පාලනයක් ලෙස ඒකාධිපති පාලනයක් ලෙස රාජපක්‍ෂ පවුලේ පාලනයෙන් අද ශ්‍රී ලංකාව මුදවා ගැනීම ඉතා වැදගත් කටයුත්තක් ලෙස පත්වී තිබේ.

අපි දෙමළ ජනතාව වශයෙන් සිතන විට රාමන් පාලනය කළත් මොකද? රාවණන් පාලනය කළත් මොකද? දෙකම එකයි යන්න, පසුගිය වසර 67ක දේශපාලනික ඉතිහාසයෙන් දෙමළ ජනතාවට ලැබුණු පාඩමකි.

නමුත් එයට එපිටින් මීට පෙර කිසිවකු ලක්‍ෂ ගණනාවක ජනතාව පටු ප්‍රදේශයක කොටුකර පොකුරු පොකුරු වශයෙන් මරා දැමුවේ නැහැ… මුල්ලිවායිකාල් වැනි ඛේදවාචකයක් කිසිවකු විසින් ඇති කළේ නැහැ…

ඉන් අනතුරුව කිසි දිනක නොතිබුණු අයුරින් 2009 මැයි 18න් පසු දෙමළ ජනතාව ඉතා පහත් මට්ටමක වහල්ලුන් බවට පත්වී සිටිති. ආහාරය අනුභව කිරීමටත් ඇතම් අවස්ථාවල කටින් හුස්ම ගැනීමටත් පමණක් තම කට ඇරීමට දෙමළ ජනතාවට සිඳුව තිබේ. විවාහ කිරීමට, මල්වරවූ දැරියකුට කටයුත්තක් සිඳුකිරීමට, නිවසට ඥාතීන් පැමිණීමට, අසල පිහිටි හමුදා කඳවුරෙන් අනුමැතිය ලබාගත යුතුයි. උතුරේ ජනතාව විවෘත සිරකඳවුරක ජීවත්වන බවට ජනතා විමුක්ති පෙරමුණ පවසන මෙම දේශපාලනය පසුගිය වසර 57ක පාලනයකදී තිබුණේ නැහැ.

2005 සිට 2014 දක්වාවූ වසර 9 කාලයක්තුල තත්වය මෙසේ නම් ඉදිරි වසර 6කට වත්මන් ආන්ඩුව රජ පුටුවට ගියොත්, කව්රුන් කව්රු සමඟ ජීවත්විය යුතුද? ළමයි ඇතිකරගත යුත්තේ කව්රුන්ද? වැනි සියළු දෙය අසල පිහිටි හමුදා කඳවුර තීරණය කිරීමේ තත්වයක් උදා නොවනු ඇතයි පැවැසීමට තියෙන වගකීම මොනවද?

1948 සිට 2004 දක්වා මාරුවෙන් මාරුවට බලයට පැමිණි නායකයන්ගෙන් පරම්පරා පාලනයක් තිබීම සත්‍යයකි. ඩි.එස්. සේනානායකට පසු ඩට්ලි සේනානායක පාලනයට පැමිණියේය. ජෙ.ආර්. ජයවර්ධන තම පුතා වන රවි ජයවර්ධනව සෘජු දේශපාලනයට ඇතුලත් කළේ නැහැ. ඉන් පසු පැමිණි ප්‍රේමදාස තම කාල වාකවානුවදී තම දරුවන්ව සෘජු දේශපාලනයට ඇතුලත් කළේ නැත. රට පාලනය කිරීමේදී ඥාතීන්ගේ මැදිහත්වීමක් තිබුණේ නැහැ. චන්ද්‍රිකාගේ කාලයදී අනුර බණ්ඩාරනායක, ශ්‍රීමාවෝ බණ්ඩාරනායක යන පිරිස දේශපාලනයේ නිරතවූ නමුත් ඔවුන් එයට පෙරදීම ජනතාව විසින් තේරීපත්වූ නියෝජිතයන්ව සිටියෝය. චන්ද්‍රිකා විසින් ඔවුන්ට අසීමිත බලයක්ද ලබාදී තිබුණේ නැහැ.

ජේ. ආර්.ගේ පාලනයදී ශක්තිමත් අමාත්‍යවරුන් ස්වාධීනව කටයුතු කළෝය. ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා සහ අගමැතිවරයා ලෙස සිටියේය. ලලිත් අත්තුලත්මුදලි ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත්, ගාමිණි දිසානායක මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් සිටියොය්. ප්‍රේමදාස මහතාගේ පාලනයදී රන්චන් විජයවර්ධන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත්, සිරිසේන කුරේ, රනිල් වික්‍රමසිංහ වැනි පිරිස ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස සිටියෝය.

නමුත් රාජපක්‍ෂ පවුල් පාලනය සර්ව බලය තමන් සතු කරගෙන රට පවුල් ආයතනයක් බවට පත්කර තිබේ. 2005ට පෙර සිටි පාලකයන් රටේ ත්‍රිවිඩ හමුදාව, ජාතික පොලිස් සේවාව, අධිකරණ අංශය, පොදු සේවාව, මැතිවරණ දෙපාර්තුමෙන්තුව, පාර්ලිමෙන්තුව, ගුවන් තොටුපලවල්, වරායවල් තම පවුල් ආධිපත්තිය යටතට ගෙනාවේ නැහැ.

රටේ ජනාධිපති – මහින්ද රාජපක්‍ෂ
පාර්ලිමෙන්තු කථා නායක – අයියා චමල් රාජපක්‍ෂ
ආරක්‍ෂ අමාත්‍යංශයෙහි ලේකම් – මල්ලි ගෝඨාබය රාජපක්‍ෂ
සංවර්ධනය ඇතුළු ප්‍රධාන අමාත්‍යංශ රැසක අමාත්‍යවරයා – මල්ලි බැසිල් රාජපක්‍ෂ
පාර්ලිමෙන්තු මන්ත්‍රී – පුතා නාමල් රාජපක්‍ෂ
නාවික හමුදාවේ ප්‍රබලයා – පුතා යෝසිත රාජපක්‍ෂ යැයි සමීපතම ඥාතීන්ව මහ ඇමැතිවරුන්, අමාත්‍යවරුන්, රාජතාන්ත්‍රිකයන්, ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් ලෙස සිය මිතුරන්ව වැදගත් රාජ්‍ය සේවා කටයුතුවලටද පත්කර තිබේ. රටේ අයවැයෙන් සියයට 75ක මුදල් පාලනය රාජපක්‍ෂ පවුල සතුව පවතියි.

විදෙස් රාජතාන්ත්‍රික සේවයට තමන්ට සමීපතම දෙමළ මාධ්‍යවේදියකුව සහ සිංහල මාධ්‍යවේදියකුව පත්කර තිබෙන මහින්ද රාජපක්‍ෂ, හමුදාවේ, නාවික හමුදාවේ, පොලීසියේ විශ්‍රාම ගිය පුද්ගලයන්ව පත්කර තිබේ. සාමාන්‍යයෙන් විදෙස් රාජතාන්ත්‍රික කටයුතුවලට පත්කරන රාජතාන්ත්‍රිකයන් එම අංශයට අදාල විභාගවලින් සමත්වී තිබිය යුතු අතර එම තනතුර ගැන අත්දැකීමක්ද තිබිය යුතුය. නමුත් රාජපක්‍ෂ පවුල් ආණ්ඩුව විසින් විදෙස් සේවා කටයුතුවලට පත්කර ඇති සියයට 95ක පිරිසක් දේශපාලනික වරප්‍රසාද යටතේ පත්වූ පිරිසවේ.

ක්‍රීඩා අංශයතුලද රාජපක්‍ෂ පවුලේ ආධිපත්තිය බහුලවී ඇතයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගද මෑතකදී පවසා තිබුණි. 2010න් පසු ක්‍රීඩා අංශයතුල දේශපාලනික මැදිහත්වීම් ඉහළ ගොස් ඇතයි හෙතෙම පවසා තිබේ.

එපමණක් නොව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාලකයන්ගේ සහ නිළධාරීන්ගේ අනුග්‍රහය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල කල්ලිවල ක්‍රියාකාරකම්, කප්පම් ගැනීම, පැහැරගෙන යෑම, ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම, මිලේච්ඡතාවය වැනි නීතියට පටහැනි කරුණු ආයතනගත කර තිබේ. රටේ අමාත්‍යවරුන්, මැරයන්, චන්ඩියන්, මිලේච්ඡයන් ලෙස හැසිරීමට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිව තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ හිටපු මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියව විවාහ කරගැනීමට සූදානම් යැයි අමාත්‍ය මර්වින් පවසයි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායකව පාරේ නිරුවත්ව දුවන්නට කරනවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පවසයි…. මෙයට වඩා අසික්කිත දේශපාලනයක් දැක තිබෙන්නේද? මෙවැනි මැර, මිලේඡ, අසික්කිත දැය සියල්ල රාජපක්‍ෂ ආයතනය බවට පත්කර තිබේ

ඉතිහාසයේ කිසිවිටක නොතිබුණු අයුරින් මාධ්‍යවේදීන් පැහැරගෙන යෑමට ලක්වීම, ඝාතනයට පත්වීම, රට හැර යෑම, මාධ්‍ය ආයතන ඉතා දරුණු ලෙස මර්ධනය පත්කිරීම, වැනි මාධ්‍ය මර්ධන සියල්ල සිඳුවුයේ මහින්ද රාජපක්‍ෂ පාලනයදී බව ලෝක මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමේදී තහවුරු කර තිබේ.

මෙය සියල්ල අමතක කොට ප්‍රායෝගිගත්වයට නොගැලෙපෙන චින්තනවට රැවටී 2005දී කළ වැරද්ද යළි දෙමළ ජනතාව හා සංක්‍රාමිකවූ දෙමළ ජනතාවද කළේ නම් ශ්‍රී ලංකාවේ දකුණේ ජනතාව පමණක් නොව උතුර නැගෙනහිර දෙමළ ජනතාවද ගැඹුරු පාතාලයකට වැටීම ඇමරිකාව, ඉන්දියාව නෙමෙයි කිසිවකුටවත් නැවැත්විය නොහැක.

ජාත්‍යන්තර පරික්‍ෂණයක්ද දෙමළ ජනතාවට විමුක්තිය ව්‍යාප්ත කළ හැක්කේ දරුණු මතවාදීයකුගේ පාලනයකින් බවට යැයි කොටසක්ද, රට මුදවා ගැනීමට පැමිණි පුද්ගලයා මහින්ද බවට තවත් කොටසක්ද ප්‍රචාරය කරමින් සිටීම දේශපාලනික ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට මඟ සලසා ගැනීමේ න්‍යායක් හැර වෙනත් යහපතක් ලැබෙන්නේ නැත.

මෙවර යළි මහින්ද රාජපක්‍ෂ පාලනයට පැමිණියේ නම් ඉදිරි වසර 6කට සිංහල ජනතාවගේ සහයෝගයද, වෙනත් කිසිවකුගේ සහයෝගයද ඔහුට අවශ්‍යවන්නේ නැහැ. විපක්‍ෂවල සිටින මන්ත්‍රීවරුන් යළි පොකුරු පිටින් ආණ්ඩු පැත්තට පිල් මාරුවනු ඇත. එම බහුතරයත් සමඟ පාර්ලිමෙන්තු මැතිවරණයක් නොමැතිවම සර්වජන මැතිවරණයකින් බහුතර බලයකින් තමන්ට අවශ්‍ය තවත් නීතිරීති වරප්‍රසාද ඉටුකර ගනියි. මැතිවරණ ක්‍රිමය වෙනස්කර රාජපක්‍ෂ පරම්පරාව රට පාලනය කිරීම තහවුරු කරයි.

දශක තුනකට අධික කාලයක් බටහිර රටවල් සහ ලෝකය සමඟ මුරණ්ඩු කිරීමට නොහැකි බව වටහාගත් බුර්ම හමුදා පාලකයා බටහිර රටවල්හි පාලකයන් සමඟ එකඟතාවයකට පැමිණි විට වෙනත් විකල්පයක් නොමැතිව බුර්ම හමුදා පාලකයාව බටහිර රටවල් රැකවරණය ලබාදුන්නේය.

මහින්ද රාජපක්‍ෂද තම අවසන් කාලයදී එම ක්‍රියාවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරනු ඇත… තම පුතා වන නාමල් රාජපක්‍ෂ රජ පුටුවට පැමිණෙන කාල පරාශය ආරක්‍ෂා කිරීමට තැත්කරයි. බුර්ම පාලකයන් පිට ලෝකය සමඟ එකඟතාවයකට පැමිණි අයුරින් මහින්ද රාජපක්‍ෂද කටයුතු කරයි.

එනම් එදා බුර්මයට එරෙහිවූ ලෝක නායකයන් දැන් පරණ සතුරුකම් අමතක කර දැන් මිතුරු රටක් ලෙස බුර්මයේ සිටිනවා මෙන් ලෝක නායකයන් මහින්ද සමඟ අතට අතදී එකට සිටිනු ඇත. මහින්ද රාජපක්‍ෂව යළි තනතුරට පත්කිරීමට දඟලන සිංහල දෙමළ දේශපාලනික ව්‍යාපාරිකයන්ගේ ජීවිකාව පමණක් සැමදා සරුවට තිබෙනු ඇත… නමුත් පව් ජනතාව…

සටහන-
මෙහිදී මහින්ද රාජපක්‍ෂගේ බල වෙනස්කම යනු ජනතාව හුස්ම ගැනීමට නැතිනම් ස්ථාවරයකට පැමිණීමට හැකි කාල වෙනසකි. එය හැර මෙහි අර්ථය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන දේව දූතයකු හෝ – අති උතුම් සත්පුරුෂයකු යැයි අර්ථයක් නොවේ.

GLOBAL TAMIL NEWS [ SINHALA ]