SRILANKAN NEWS

මැතිවරණය කල් දැමීමට උත්සාහ කළොත් ජනතාව සමග පාරට බහිනවා – JVP

දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කරන තත්වයක් තුළ මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන් කර තිබියදී ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක‍්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් මේ උත්සාහය මහජනතාව සමඟ එක්වී අවශ්‍ය වුවහොත් පාරට බැස උද්ඝෝෂණ කිරීමෙන් පරාජය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර තිබේ.

බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) දින පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පවසා තිබේ.

මැතිවරණය තියන්න ඉඩ නොදී කල් දාන්න මොනවා හරි ගේම් ගහනවානම් ඒ දේට ඉඩදෙන්නේ නැති බවට අපි අනතුරු අඟවනවා. ජනාධිපතිවරයා තමන්ගේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කර තිබෙනවානම් තමන්ගේ ඇමතිවරුන් ශක්තිමත්ව ඡනතාවට සේවය කර තිබෙනවානම් එම කරුණු පැහැදිලි කර මැතිවරණය දිනන්න කටයුතු කරන්න පුළුවන්. එහෙම නොකර අධිකරණය හරහා මෙවැනි ගේම් ගහනවානම් ජනතාව අතර දැනටමත් පරාද වී ඇති බව පිළිගන්න ඔවුන්ටම සිදුවෙනවා. මේ නිසා අධිකරණයෙන් ඡන්ද අයිතිය දිනාගන්න අසීරු තත්වයක් මතුවුවහොත් ජනතාව සමග පාරට බැස ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ජනතාවට දිනා දෙන බව අපි නැවතත් අවධාරණය කරන බව ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා තිබේ.