SRILANKAN NEWS

ඉදිරි සංවර්ධන සැලසුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය

වත්මන් රජය දියත් කර ඇති ආර්ථික සහ සංවර්ධන සැලසුම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය හිමිවන බව එහි උප සභාපති වෙන්ෂයි ෂෑන්ග් (Wencai Zhang) මහතා පවසයි.

අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ අතර 2018-2022 කාලයට අදාළ ශී‍්‍ර ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සහයෝගීතා වැඩපිළිවෙළ ඇතුළත් වාර්තාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ඒ අනුව ඉදිරි පස් වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 04 -05 ත් අතර ප‍්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ශී‍්‍ර ලංකාවට වෙන් කර තිබේ.

යටිතල පහසුකම් සංවර්ධනය මූල්‍ය කළමණාකරන යාන්ත‍්‍රණය තුළ විධිමත් කිරීම ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් බව පැවසූ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා ඒ සඳහා සිය සහය ලබාදිය හැකි බව ද හෙතෙම පවසා තිබේ.

ශී‍්‍ර ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සහයෝගීතාවයේ 50වන සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර එම පනස් වසරක කාල සීමාව තුළ ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සුවිශේෂී සහය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.