SRILANKAN NEWS

උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් සංඛ්‍යාව ලක්‍ෂය පනී

මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට පත් වූ පුද්ගයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බව උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

ඉකුත් ව්‍යාපෘතිය හේතුවෙන් අද වනවිට පුපුරා විනාශ වූ නිවාස සංඛ්‍යාව 7,550කි. පුපුරා විනාශයට ගොදුරු වූ පන්සල් පල්ලි ප්‍රමාණය 23කි. පුපුරා විනාශයට ගොදුරු වූ පාසල් ප්‍රමාණය 22කි. සිඳී ගිය ලිං, උල්පත්, පිහිලි, ඔයවල්, දියකඳුරු, පොකුණු ප්‍රමාණය 3,344කි. ජලය නොමැතිකමෙන් වගා කිරීමට නොහැකිව අත්හැර දැමූ ගොඩ මඩ වගාබිම් ප්‍රමාණය අක්කර 5,000කට ආසන්නය. ඒ තුළ ජීවිකාව අහිමිවූ ගොවි පවුල් ප්‍රමාණය 7,500 ඉක්මවා ඇති බව හෙතෙම පෙන්වාදී තිබේ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා දික්ආරාව ප්‍රදේශයේ පවුල් 56ක් පුද්ගලයන් 290ක් ද කොලතැන්න ප්‍රදේශයේ පවුල් 11ක පුද්ගලයින් 50කට ආසන්න පිරිසක්ද පූර්ණ හානි හෝ අවධානම් තත්වයේ පසුවන පවුල් 300කට ආසන්න පිරිසක්ද ආපදා කලමණාකරන ආයතන මගින් හඳුනාගෙන තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.