SRILANKAN NEWS

සිංහලීකරණය – පුවත් රැස් කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ වීඩියෝ මකයි..

මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ සිංහලීකරණය පිළිබඳව තොරතුරු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව, හමුදාව හා පොලිසිය පැයකට ආසන්න කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර ඇති අතර, මාධවේදීන් විසින් අදාල පුවත සම්බන්‍ධයෙන් ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශණ සියල්ල මකා දමා දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කර තිබේ.

යාපනයේ සිට මුල්ලතිව් ගිය කු. සෙල්වකුමාර්, එස් පාස්කරන්, ටී. ප්‍රදීපන්, ටී. විනෝජිත්, වී. කජීබන්, සී. නිදර්සන්, කේ. හම්සනන්, කේ. සබේෂ්, යන මාධ්‍යවේදීන් මෙලෙස තර්ජනයකට මුහුණදී තිබේ.

මුල්ලතිව් ප්‍රදේශය සිංහලීකරණය කිරීම පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමට යාපනයේ සිට එම මාධ්‍යවේදීන් ඊයේ සෙනසුරාදා දින පැමිණ තිබේ.

එහිදී ඔවුන් මුල්ලතිව්, තන්නීර්මුරිප්පු කුලම් ප්‍රදේශයට පැමිණ තිබේ. තන්නීර්මුරිප්පු කුලම් ප්‍රදේශයේ සිංහල ධීවරයන් තමන්ට ද රැකියාවේ නිරතවීමට අනුමැතිය ලබා දෙන ලෙස මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ නමුත් එම ඉල්ලීම දිසාපතිවරයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කර තිබේ. නමුත් සිංහල ධීවරයන් හමුදා ආරක්‍ෂාව යටතේ එම වැවේ ධීවර කටයුතුවල නිරතවන හෙයින් දෙමළ හා සිංහල ධීවරයන් අතර නිරන්තරයෙන් ආරවුල් තත්වයක් පැවැත්වුණි. මේ සම්බන්‍ධයෙන් මාධ්‍යවේදීන් තොරතුරු එක්රැස් කළ අතර, ඒ සම්බන්‍ධ ඡායාරූප හා විඩියෝ දර්ශණද සටහන් කරගෙන තිබුණි

තන්නීර්මුරිප්පු කුලම් ප්‍රදේශයේ වාරි මාර්ග දෙපාර්තුමෙන්තුවට අයත් ඉඩම ආක්‍රමණය කර ස්ථානගතව සිටින හමුදාව වැවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවන සිංහල ධීවරයන්ට ආරක්‍ෂාව ලබාදීමේ අයුරින් වැව් බැම්මේ අලුතින් ඉදිකරන හමුදා මුරපොල සම්බන්‍ධයෙන් ද පුවත් ආවාරණය කර තිබේ. එහිදී එම ස්ථානයට ත්‍රීරෝද රථයකින් පැමිණි හමුදා සෙබළකු එම මාධ්‍යවේදීන්ගෙන් ඔවුන් කව්රුන් දැයි විමසා තිබේ. එහිදී තමන් යාපනයේ සිට පැමිණි මාධ්‍යවේදීන් කණ්ඩායමක් යැයි පැවැසීමෙන් අනතුරුව හමුදා සෙබළා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

එම ස්ථානයෙන් ඉවත්ව ගිය හමුදා සෙබළා යළි තවත් සෙබළෙකු සමග එම ස්ථානයට පැමිණ, පැමිණ සිටින මාධ්‍යවේදීන් කව්රුන් දැයි ප්‍රශ්ණ කළ අතර, මාධ්‍යවේදීන් තම අනන්‍යතාවය තහවුරු කළ නමුත් ඔවුන්ව එහි රඳවා තබා තවඳුරටත් ප්‍රශ්ණ කර තිබේ.

පසුව හමුදාව විසින් සිද්ධිය ස්ථානයට පොලිසිය කැඳවු අතර, සිවිල් ඇඳුමින් පැමිණි පොලිසිය තමන් කව්රුන් දැයි තහවුරු නොකර මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්ණ කර ඇති අතර, හමුදා විසින් මාධ්‍යවේදින් ගත් අදාල ඡායාරූප හා වීඩියෝ දර්ශන සියල්ල මකා දමන්නයි බලකර තිබේ.

එහිදී මාධ්‍යවේදින් සතුව තිබූ කැමරා සියල්ල උදුරාගත් පොලිසිය එය හමුදාවට ලබාදුන් අතර, ඔවුන් එහි තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශණ සියල්ල මකා දමා තිබේ. එපමණක් නොව එහි පැමිණි මාධ්‍යවේදීන්ට තර්ජනය කරන අයුරින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ගෙන, ඔවුන්ගේ තොරතුරු හා වාහන අංක ද හමුදාව විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.