SRILANKAN NEWS

පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා මිලියන 4727ක්

පිළිකා රෝගීන් සඳහා පනවා තිබූ වියදම් සීමාව ඉවත් කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා සඳහා රුපියල් මිලියන 4727ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය කාලයේ දී පිළිකා රෝගියෙක් සදහා ප්‍රතිකාර කිරීම වැය කරන මුදල වුයේ රුපියල් ලක්ෂ 15 කි. එම සිමාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉවත් කර ජිවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව මේ වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 180 – 200 වැනි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ගතවූ වසර 03තුළ රෝගීන් 1285 කට නොමිලේ ප්‍රතිකාර කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4727 කි.

පිළිකා ඖෂධ මිල ඉතා අධික බවත්, ඒ සඳහා අමාත්‍යාංශයේ ටෙන්ඩරවල තිබූ දුෂණ, වංචා නතර කිරීමට තමන් පියවර ගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඇතැම් පිළීකා ඖෂධ රුපියල් 285000 කට ලංකාවට ආනයනය කර තිබුණි. එය රුපියල් 165000 දක්වා මේ වනවිට මිල අඩු කර ඇති අතර, දෙවන පිළිකා ඖෂධය වන රුසියාවේ නිෂ්පාදිත ඖෂධය රුපියල් 141000 කට මිලදී ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. තව ද තෙවන පිළිකා ඖෂධයක් ද ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිතය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා මෙම සාකච්ඡාව පැවැති අතර, මෙහිදී වෘත්තීය සමිති මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදි. අහිංසක රෝගී ජිවිත සමග සෙල්ලම් කරමින් වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම රැස්වීමේ දී ප්‍රකාශ කරන ලදි.