SRILANKAN NEWS

නාවික හමුදාව ඉඩම් අත්පත් කරගැනීමෙන් නිවාස ව්‍යාපෘතිය අහිමිවූ ජනතාව

කාරයි නගර් මඩත්තුවෙලි ආදර්ශ ගම්මානය නාවික හමුදා අත්පත්කරගෙන සිටීමෙන් එම ප්‍රදේශයට ලැබුණු නිවාස ව්‍යාපෘතිය සංගානයි ආදර්ශ ගම්මානයේ ජනතාවට ලබාදී තිබේ.

ඉන්දීය රජයේ මුදල් ආධාර මත දිස්ත්‍රික්කයකට රුපියල් ලක්‍ෂ පහක් වටිනා නිවාස 24ක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය ජාතික නිවාස අධිකාරියට ලැබී තිබුණි. යාපනය දිස්ත්‍රික්කය සඳහා වූ අදාල නිවාස ව්‍යාපෘතියේ නිවාස 24 කාරයිනගර් මඩත්තුවලවු ආදර්ශ ගම්මානයට ලබාදීමට රාජ්‍ය නිලධාරින් පියවර ගෙන තිබුණි.

මෙවැනි තත්වයකදී ඉකුත් ගම්මානය පිහිටා ඇති ප්‍රදේශයේ අක්කර 126ක ඉඩම් නාවික හමුදා අත්පත්කරගෙන තිබේ. එහිදී මඩත්තුවලවු ගම්මානයට අයත් අක්කර හයක ඉඩම් ප්‍රමාණයක්ද ඇතුලත්ය. එම ගම්මානයේ ජනතාවට නිවාස 24ක් ඉදිකිරීමට නියමිත බැවින් එම ඉඩම් යළි ජනතාවට නිදහස් කරන ලෙස කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති, ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ දෙනෙකු නාවික හමුදාව වෙත ඉල්ලා තිබුණි.

කෙසේ නමුත් එම ඉඩම් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟ නොවූ අතර, එම ඉඩම් වටා කඩු කම්බි වැටක්ද ඉදිකර තිබේ. මේ හේතුවෙන් එම ගම්මානයට ලැබීමට නියමිත තිබූ නිවාස ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ.

මේ වසර අවසන්වීමට පෙර නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කළ යුතු හෙයින් අදාල නිවාස ව්‍යාපෘතිය සංගානයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ආරාලි ප්‍රදේශයට ලබාදීමට අදාල නිලධාරින් පියවර ගෙන තිබේ.