SRILANKAN NEWS

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට තවත් 2500ක් එකතු වෙයි

වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ වැඩපිළිවෙළේ තුන්වැනි අදියර අදින් (01) ආරම්භ කරන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

වසර 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී ජාතික රජය විසින් ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කෙළේය. ඒ අනුව මූලිකව රුපියල් 2500ක මුදලක්,

රාජ්‍ය සේවක මූලික වැටුපට එක් නොකොට අතුරු දීමනාවක් ලෙස ලබා දෙන ලදී. 2016 සිට මේ රුපියල් 2500ක මුදල මූලික වැටුපට එක්කොට ලබාදීමට රජය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ (2018) අද පටන් රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2500ක මුදල එක්වන්නේ තුන්වැනි අදියර ලෙස බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

මේ අන්දමට රජයේ සේවකයින්ගේ මූලික වැටුපට මේ දීමනාව එකතු කිරීම නිසා ඔවුන්ටත්, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අයටත් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් හිමිවන බවද මහා භාණ්ඩාගාරය කියයි.

මූලික වැටුප් වැඩිවීමක් සිදුවන නිසා රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනාව ඉහළ යනු ඇත. මාස 60 කාලයක් සඳහා වන දළ වැටුප ලෙස ගණන් බලා ලබාදෙන දේපොළ ණය මුදල ඉහළ යනු ඇත. මාස 10ක වැටුපට සමාන දුෂ්කර ණය මුදල වැඩිවේ.

ඊට අමතරව විශ්‍රාමික පාරිතෝෂික හා විශ්‍රාම වැටුප් – මුදල ඉහළ යෑම සිදුවේ.

මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම එකට හතර අනුපාතය යටතේ සිදුවන බැවින් අවම වැටුප් වැඩිවීම රු 2500ක් වන අතර උපරිම වැටුප් වැඩිවීම රුපියල් 10,000 වනු ඇත.