SRILANKAN NEWS

ආණ්ඩුව මැතිවරණ නීති ඉහළින් පිළිපදිනවා – අගමැති

නව මැතිවරණ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරමින් යහපාලනය අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවත් මැතිවරණ නීති ආණ්ඩුව ඉහළින් පිළිපදින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) අත්සන් කරනු ලැබීය.

ඉන් අනතුරුව අගමැතිවරයා මෙසේ ද සදහන් කළේය.

“එළඹෙන මැතිවරණ සමය තුළ ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වන මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනා සම්මතයට අත්සන් කරමින් 2018 වසර අපි ආරම්භ කළා. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරනවා. ආණ්ඩුවක් වශයෙන් අපි කැපවී සිටින්නේ නීතියට අනුව ක්‍රියා කිරීමටයි. එමෙන්ම සියලූ මැතිවරණ නීති අපේ ආණ්ඩුව ඉහළින් පිළිපදිනවා. අද නව මැතිවරණ ක්‍රමයක් රටට ඉදිරිපත් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

ජනතාවට තම කොට්ඨාශයේ අපේක්‍ෂකයකු තම නියෝජිතයා ලෙස තෝරා ගැනීමටත්, කාන්තාවන්ට අවම වශයෙන් 25% ක නියෝජනයක් ලබාදීමටත් නව මැතිවරණ ක්‍රමය හරහා හැකියාව ලැබී තිබෙනවා.

ඇතැම් කොට්ඨාශවල ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබී තිබුණත් නියෝජිතයකු තේරී පත් වන්නේ නැති නම් එම කොට්ඨාශවලට අනුපාතය අනුව මන්ත්‍රීවරයෙක් පත් කර ගැනීමේ හැකියාවත් මෙම නව ක්‍රමය තුළින් සිදු වෙනවා. මෙම නව මැතිවරණ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරමින් යහපාලනය අනුව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එළඹෙන මැතිවරණයේදී සියලූමදෙනා ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇතැයි ද මා බලාපොරොත්තු වෙනවා. “