SRILANKAN NEWS

ජනතා විමුක්ති පෙරමුණේ තෛපොංගල් දින පණිවුඩය..

“ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමානත්වය, සහෝදරත්වය හා සමගිය ස්ථාපිත කරන්නට අසමත් වූ පැවති හා පවතින පාලනයන්ගේ අත්දැකීම් තුළින් හින්දු භක්තික දෙමළ ජනතාවටත් සෙසු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාවටත් අලුතින් හිතන්නටත් නව ජීවිතයක් ඇරඹීමටත් කාලය පැමිණ ඇත.” යැයි ජනතා විමුක්ති පෙරමුණ සිය තෛපොංගල් දින නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායාක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“හින්දු දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන තෛපොංගල් දිනය අදට යෙදී ඇත. හින්දු භක්තික ජනතාව විසින් තමන්ගේ ජීවිතයට, වැඩබිමට නව ආරම්භයක් ලබාගැනීමට තෛපොංගල් දිනය සමරනු ලබයි. තෛපොංගල් දිනය සමග නව උදාවක් ප‍්‍රාර්ථනා කරන, ඒ සඳහා වන අධිෂ්ඨානය සිත්හි දරා ගන්නා හින්දු බැතිමතුනට අපේ සුභපැතුම් එක්කරනු කැමැත්තෙමු.

අලුත් බලාපොරොත්තුවක ආරම්භයක් වන අලුත් අවුරුද්ද මෙතෙක් තමන්ගේ ජීවිතයේ ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීම පිළිබඳ බලාපොරොත්තු අලුත්වන අවස්ථාවකි. එළඹ ඇති නව වසර, පැරණි අවුරුද්ද පුරා පැවැති ප‍්‍රශ්නවලම දිගුවක් සමග පැමිණ තිබුණද එම ගැටලු ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාවන්ද අප හමුවට රැගෙන පැමිණ තිබේ.

මේ නව වසරේ ගැඹුරින් කල්පනා කර නිවැරදි තීන්දු ගත හැකිනම්, කැපවීමෙන් හා ධෛර්යෙන් කටයුතු කළ හැකිනම් එළඹි නව වසර ජයග‍්‍රාහී වසරක් කර ගැනීම අසීරු ඉලක්කයක් නොවේ. විශේෂයෙන් ජනතාවට තමන්ගේ බලය පෙන්විය හැකි මැතිවරණ මොහොතක එළඹ ඇති තෛපොංගල් නව වසර තමන්ගේ ජීවිතත් රටත් නව දිශාවකට හැරවීමේ අධිෂ්ඨානය කැටි කරගන්නා නිමිත්තක් බවට පත් කර ගත හැකිය.

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමානත්වය, සහෝදරත්වය හා සමගිය ස්ථාපිත කරන්නට අසමත් වූ පැවති හා පවතින පාලනයන්ගේ අත්දැකීම් තුළින් හින්දු භක්තික දෙමළ ජනතාවටත් සෙසු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාවටත් අලුතින් හිතන්නටත් නව ජීවිතයක් ඇරඹීමටත් කාලය පැමිණ ඇත. 2018 වසරේ උදාවූ තෛපොංගල් දිනය අපට ලබාදෙන පණිවිඩය එයයි.

මේ අනුව උදා වන නව වසර තුළදී අලූත් ම`ගක ගමනාරම්භ කිරීමට සූදානම් හින්දු බැතිමතුනට මෙන්ම සමස්ත ලාංකේය ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඊට ම`ග පෙන්වීමට හා නායකත්වය දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටිමු.

අදින් ඇරඹෙන නව වසරේ වඩා යහපත් හෙටක් වෙනුවෙන් වන බලාපොරොත්තු ජය ගැනීමට සංවිධානය වී එකමුතුව සටන් වැදීම සඳහා ලාංකේය හින්දු බැතිමතුනට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නටද මෙය අවස්ථාවක් කර ගනිමු.”