SRILANKAN NEWS

සුරාබදු ආඥාපනතට ගෙනා චක‍්‍රලේඛය අවලංගු යි – ජනපති

මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛය වහාම අවලංගු කිරීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඒ අනුව හෙට සිට එම චක‍්‍ර ලේඛය අවලංගු කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ,(14) පස්වරුවේ අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සාධාරණත්වයෙන් යුත් සදාචාරවත් සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපවීම් රැසක් පසුගිය තෙවසර තුළ සිදුකළ බවද එහිදී පවසා තිබේ.

මේ අතර සුරාබදු පනතට මෑතකදී කරන ලද සංශෝදන පිළිබඳ සිය අදහස අග්‍රාමාත්‍යවරයාටත්, මුදල් අමාත්‍යවරයාටත් දැනුම් දුන් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය. ජනාධිපතුමා සඳහන් කළේ, තම මැදිහත්වීමේ යහපත් ප්‍රතිඵලය ඉදිරියේදී දැනගත හැකි බවයි.