SRILANKAN NEWS

අප ඉඩම් අත්පත් කර ගැනීමේ රජයේ උත්සහයට දෙමළ නායකයන් හවුල් ද? – වට්ටුවාකල් ජනතාව..

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි මුල්ලිවායිකාල් නැගෙනහිර, වට්ටුවාකල් ප්‍රදේශයෙහි ගෝඨාබය නාවික හමුදා කඳවුර නමින් ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර පිහිටි ඉඩම ඇතුළු අක්කර 617ක ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ උත්සහයක නාවික හමුදාව නිරතව සිටියි. මෙම වැඩපිළිවල නවතා දමන්නයි ඉල්ලා වට්ටුවාකල් ජනතාව මාසයක කල් අවකාශයක් ලබාදී තිබුණි.

පසුගිය 4 වනදා මෙලෙස කල් අවකාශයක් ලබාදී තිබූ නමුත් මෙතෙක් කිසිඳු දෙමළ දේශපාලන නායකයෙකු තමන්ව හමු නොවූ බවත්, තම ඉඩම් අත්පත් කර ගැනීමේ රජයේ උත්සහයට දෙමළ නායකයන් ද හවුල් දැයි එම ජනතාව ප්‍රශ්ණ කර තිබේ.

වලිගාමම් උතුර, සාම්පූර් යන ප්‍රදේශවල ඉඩම් නිදහස් කර ගැනීමේ දී දෙමළ නායකයන් දැක්වූ දායකත්වය මුල්ලතිව් දිස්ත්‍රික්කයට ද ලබාදිය යුතු යැයි ඉල්ලා සිටින වට්ටුවාකල් ජනතාව මේ සම්බන්‍ධයෙන් දෙමළ නායකයන් නිහඞව සිටින්නේ නම් දැඩි විරෝධතාවලට මුහුණදීමට සිඳුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

ලබන 4 වනදාට පෙර තමන්ට නිසි විසඳුමක් රජය ලබාදිය යුතු බවත්, එයට රජය සමඟ එක්ව කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය පියවර ගත යුතු බව එම ජනතාව පවසති.

වට්ටුවාකල් ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් අක්කර 379ක සහ ජනතාව ජීවත් වූ රාජ්‍ය ඉඩම් අක්කර 379ක් ඇතුළුව අක්කර 626ක ඉඩම් ප්‍රමාණයක නාවික හමුදාවේ ගෝඨාබය කඳවුර ඉදිකර තිබේ. විශාල ඉඩම් ප්‍රමාණයක් කටු කම්බි වැට දමා නාවික හමුදා ආරකෂක කලාපය තුලට අත්පත් කරගෙන තිබේ.

මේ හේතුවෙන් පවුල් 500ක පමණ ජනතාවට තම වාසස්ථාන අහිමිවී තිබේ. එම ඉඩම් නිදහස් කර දෙන්නැයි ජනතාව අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබුණි. එම ඉඩම්වල ජීවත් වූ ජනතාව දැනටත් ඥාතීන්ගේ නිවස්වල හා මාර්ගවල අවතැන්ව ජීවත්වෙති.