SRILANKAN NEWS

ජාතිවාදය එපා..! ජවිපෙ මුලිකත්වයෙන් කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් ඊයේ (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදි මාධ්‍ය ඇමතූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා….

පසුගියදා මහනුවරදී පුපුරා ගියේ හුදකලා සිදුවීමක්, ඕපපාතික සිදුවීමක් නොවෙයි. පසුගිය කාලය පුරාවට ක්‍රමාණුකූලව රටපුරා ජාතිවාදය උත්සන්න වුණා. ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට දේශපාලන ව්‍යාපාරවල අරමුණ වෙලා තිබුණෙ තම තමන්ගේ ජන කොට්ඨාශයන්ට අනුව ජාතිවාදය වැපිරවීම. දේශපාලනය මැදිහත් වෙලා ජාතිවාදය කඳවුරුවටල බෙදලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ වර්ධනය වෙමින් තිබෙන ජාතිවාදය පරාජයටපත් කළ යුතුයි. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනකොට්ඨාශයන් ජීවත් වෙනවා. ඔවුන් සියලුදෙනාගේ සමඅයිතිය පිළිගැනීමකින් තොරව ජාතික සමගිය ගොඩනගන්න බැහැ. මෙම ජාතිවාදී ගැටුම් හුදකලා ලෙස සිංහල බෞද්ධ ජනතාව මතුවෙන, ස්ලාම් මුස්ලිම් ජනතාවගෙන් පැනනගින, හිංදු දෙමළ ජනතාවගෙන් මතුවෙන දෙයක් නෙවෙයි. ඉතා පැහැදිලිව දේශපාලන වුවමානාවන් සහිතව ගොඩනැගෙන ව්‍යාපාරයක්. ඒ නිසා මේ ජාතිවාදී ප්‍රවණතාවය පරාජයට පත් කළ යුතුයි. මෙවැනි ගැටුම් ආණ්ඩුවලට හිතකර තත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්ත අර්බුද වහගෙන ජනතාව වෙත වෙනත් ප්‍රශ්න ගෙන එන්න. ඒ නිසා සියලුම වර්ගයේ ජාතිවාදයන් පරාජය කිරීමට සිංහල, දෙමළ,මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි.

මෙම අවස්ථාවේදී ජාතික භික්ෂ පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමි, නිතීඥ උපුල් කුමරප්පෙරුම, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය අතුලසිරි සමරකෝන්, විවෘතවිශ්වවිද්‍යාලයේ ආචාර්ය දිලීප විතාරණ, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා ඇතුළු මුස්ලිම් සංවිධානවල නියෝජිතයින් අදහස් දැක්වීය.

– ලංකා ටෘෘත් –