SRILANKAN NEWS

දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සහාය ලබාදිය යුතුයි – විග්නේෂ්වරන්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ ඇමරිකාව, බ්‍රිතාත්‍ය ඇතුළු රටවල් දෙමළ ජනතාවට යුක්තිය ලබා ගැනීමට ද අඛණ්ඩව සහාය ලබාදිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මේ සම්බන්‍ධයෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ,

“යුද අපරාධ සිඳුකළ පිරිසට දඞුවම් ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය පවසා සිටයද ඇත්තෙනම් ඔවුන්ට දඞුවම් නොදී ඔවුන්ට සමාව දෙයි, මෙයට හොඳම උදාහරණය අතුරුදන්වූවන්ට සිඳුවුයේ කුමක් ද? යැයි ප්‍රශ්ණ කළ විට අතුරුදන්වූවන් මියයන්නට ඇති බවත්, මියගොස් ඇති බවටත් පිළිතුරු දුන් රාජ්‍ය නායකයා දැන් අතුරුදන්වූවන්ව සෙවීම සඳහා කාර්‍යාලයක් පිහිටුවනවා.

එක් ජන කොටසකට එරෙහිව අපරාධ සිඳුකළ පිරිසකට දඞුවම් ලබාදීම රජයක වගකීමකි. එය ශ්‍රී ලංකා රජය කිසිවිටක කරන්නේ නැහැ. ඔවුන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. එලෙසම අභ්‍යන්තර පරීක්‍ෂණයක් යනු අපරාධකරුවන්ව බේරා ගැනීමේ කටයුත්තක් ලෙස වීම හැර කිසිවිටක අපරාධකරුවන්ව හඳුනාගෙන ඔවුන්ට දඞුවම් ලබාදීමේ කටයුත්තක් ලෙස නොතිබේ.

මම 2015 සහ 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබුණා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විභාගයකට ඉදිරිපත් කරන ලෙසට. ඒ වගේම කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ද එයම පවසා තිබුණා. ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා. ඔවුන් පීඩාවට පත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් එම යෝජනාව ඉදිරිපත් කළ බවට පවසා සිටියත් ඇත්තෙන්ම ඔවුන් ගෝලීය දේශපාලන යහපත මත එය ගෙනවිත් තිබුණා.

ශ්‍රී ලංකාව තුළ චීනයේ මැදිහත්වීම ඉහළ යෑම වැනි විවිධ හේතු කාරණා මුල් කරගෙන එලෙස යෝජනාවක් ඉදිරිපත් කළා නමුත් පීඩාවට පත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් යැයි ඔවුන් පවසා සිටියත් ඔවුන්ට වගකීමක් තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳව නිසි තීන්දුවක් ගැනීමට සහ පීඩාවට පත්වූ දෙමළ ජනතාවට යුක්තිය, සාධාරණය ලැබීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යෝජනා ඉදිරිපත් කළ රටවල් අඛණ්ඩව සහාය ලබාදිය යුතුයි. එලෙසම ජනතාව ද එක්වී විරෝධතා, උද්ඝොෂණ පැවැත්වීම තුළින් බලපෑම් එල්ල කළ යුතුයි“ යැයි විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.