SRILANKAN NEWS

වෙනසක ඇරඹුම සංවිධානය විසින් හෙට (21) දින කොළඹදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්..

රටපුරා මතුවෙමින් තිබෙන ජාතිවාදී ප‍්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි අර්බුද සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන කතිකාවක් ‘වෙනසක ඇරඹුම’ සංවිධානය විසින් හෙට (21) පස්වරු 3.30ට කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ඇරඹුම සංවිධානයේ සංවිධායක කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම කතිකාව සඳහා ජාතික භික්ෂු පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ජනතා විමුක්ති පෙරමුණ, මානවවාදී කලාකරුවෝ, අලුත් පරපුර, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, සමාජ සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු යන සංවිධානද සහභාගි වන බව එහි සඳහන් වේ.

එහි දේශකයින් ලෙස පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි සහ උතුරු නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ලයනල් ප‍්‍රනාන්දු, ජ.වි.පෙ. නායක අනුර දිසානායක, මහාචාර්ය එන්.ජේ. යෝගරාජා, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන්, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හනීෆා සාරා යන අය සහභාගි වන බවද එහි දැක්වේ.

ඉෂාක් බෙග්, සූරියකුමාර් මුත්තලගේ, සුනිල් පෙරේරා, නදීක ගුරුගේ, මිත‍්‍ර කපුගේ, සමනලී ෆොන්සේකා, සුලක්ෂන් යන කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ජාතික සමගි ගීත ප‍්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතය බව එම නිවේදනයේ සඳහන් වේ.

ඇරඹුම සංවිධානය විසින් සංවිධානය මාර්තු 29 දින මහනුවර දිගන දීත් අප්‍රේල් 03වෙනි දින මාතරදීත් අප්‍රේල් 08 වෙනි දින අම්පාරහිදීත් මෙම ‘අපි මිනිස්සු’ ජාතික සමගි කතිකාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

– ලංකා ටෘෘත් –