SRILANKAN NEWS

පොදු සමාව යටතේ ආනන්ද සුදාකරන්ව නිදහස් කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එක්රැස් කරයි..

ජීවිතාන්තය දක්වා සිරඳඩුවම නියමවූ දෙමළ දේශපාලන සිරකරුවෙකු වන කිලිනොච්චියේ ආනන්ද සුදාකරන්ව පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි අවධාරණය කර දෙමළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එක්රැස් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමේ වැඩපිළිවල අද (23) දින ආරම්භ කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ…

පසුගිය 2008 වසරේදී අත්අඩංගුවට ගෙන මැගසින් බන්‍ධනාගාරයේ රඳවා තබා පසුගිය වසරේදී ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියම වූ ආනන්ද සුදාකරන්ගේ බිරිඳ මෑතකදී අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබුණි. ඔහුට අවුරුදු 9 සහ 11 වයසේ දරුවන් දෙදෙනෙකු ද සිටිති.

මව අහිමිවූ එම දරුවන් දෙදෙනා අද අසරණවී සිටින හෙයින් ජනාධිපතිවරයා පොදු සමාව යටතේ ආනන්ද සුදාකරන්ට නිදහස ලබාදිය යුතුයි. එය අවධාරණය කර දෙමළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ලබා ගැනීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා.

දෙමළ දේශපාලන සිරකරු වන ආනන්ද සුදාකරන්ගේ නිදහසට කැමැත්ත පළ කරන මහජාතික පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ ද අත්සන් ලබා එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, ආනන්ද සුදාකරන්ව පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කරන්නෙමු යැයි සෙල්වම් අඩයිකලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.