SRILANKAN NEWS

මැතිවරණ කාලයේදී පමණක් අපි ගැන බලන්න එපා – මන්නාරම දිස්ත්‍රික්ක රැකියා විරහිත උපාධිධාරීන්

මැතිවරණ කාලයේදී පමණක් අපි ගැන බලන්නේ නැතිව අනෙකුත් කාලයේදී ද සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථාවන් ලබාදීමට දේශපාලකයන් කාර්‍යක්‍ෂම වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ යුතු බව මන්නාරම දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලා තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඇරයුමකට අනුව අද (24) දින පෙරවරුවේ මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී තම ලියාපදිංචිය ඉදිරිිපත් කර තිබේ.

එම අවස්ථාවට සහභාගිවූ රැකියා උපාධිධාරින් පවසා සිටියේ, විවිධ දුක් කරදර මැද අප දෙමව්පියන් අපිට අධ්‍යාපනය ලබාදී, අපි විශ්ව විද්‍යාලයට ගොස් උපාධිය ලබාගෙන අද රැකියා විරහිත උපාධිධාරින් ලෙස සිටිනවා. විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ රැකියාවන් සඳහා පුරප්පාඩු රැසක් පවතින බව අපට දැනගන්නට ලැබී තිබෙනවා.

නමුත් එම පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරින් වන අපව බඳවා ගැනීමෙන් තොරව වෙනත් මාර්ගවලින් බඳවා ගන්නා බවට වාර්තා වෙනවා. මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අපි දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

එමෙන් දේශපාලකයන් මැතිවරණ කාලයට පමණක් අපි ගැන නොබලා අනෙකුත් කාලවලදී ද රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා අවස්ථාවන් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු යැයි මන්නාරම දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින් ඉල්ලා තිබේ.