SRILANKAN NEWS

“අලුත් අවුරුද්දට තාත්තා අපි ළඟට එයි“

තම තාත්තා අලුත් අවුරුද්දට පෙර නිදහස් වී තමන් ළඟට පැමිණෙනු ඇතැයි දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටිති.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ආනන්ද සුදාකරන්ගේ දරුවන් දෙදෙනා මෙලෙස සිය බලාපොරොත්තුව පවසා සිටියහ.

එහිදී ආනන්ද සුදාකරන්ගේ වැඩිමහල් පුතා වන කනිදරන් පවසා සිටියේ, “අපි ඊයේ බ්‍රහස්පතින්දා දින ජනාධිපතිතුමා හමුවී අපේ අම්මා මිය ගියා, තාත්තාව බන්‍ධනාගාර ගත කර තිබෙනවා. ඔහුව නිදහස් කර දෙන්නැයි ඉල්ලා සිටියා. එයට ජනාධිපතිතුමා තමන් ඒ සම්බන්‍ධයෙන් පියවර ගන්නා බව පවසා සිටියා“

එහිදී ආනන්ද සුදාකරන්ගේ දියණිය වන සංගීතා පවසා සිටියේ “අපි තාත්තාව නිදහස් කරන්නැයි ඉල්ලා සිටියා, ජනාධිපතිතුමා අලුත් අවුරුද්දට කලින් නිදහස් කරන බව කිව්වා, අලුත් අවුරුද්දට තාත්තා අපි ළඟට එයි“ යැයි පැවැසීය.

අනතුරුව අදහස් ප්‍රකාශ කළ දෙමළ තරුණ සංගමයේ ක්‍රිෂ්ණා පවසා සිටියේ, “ආනන්ද සුදාකරන් සහෝදරයාව නිදහස් කිරීම අවධාරණය කර අත්සන් ලබා ගැනිමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. අපගේ වැඩපිළිවලට උතුර නැගෙනහිර පළාතේ විශාල පිරිසක් සහාය ලබාදුන්නා. ඊයේ දින ජනාධිපතිතුමා හමුවූ අපි අපගේ ඉල්ලීම ඇතුලත් අත්සන් සටහන ද ඉදිරිපත් කර ආනන්ද සුදාකරන්ගේ නිදහස අවධාරණය කර සිටියෙමු. ජනාධිපතිතුමාගෙන්ද එයට සාධනීය ප්‍රතිචාරයක් ලැබුණා“

“මේ අතර ඇතැමුන් ආනන්ද සුදාකරන්ගේ නිදහස දේශපාලන වාසියක් සඳහා යොදා ගැනීමට උත්සහ කරනවා. සහෝදරයාගේ නිදහස වෙනුවෙන් සියළු දෙනාම එක්වී සටන් කළා. එමෙන් ඇතැම් පිරිසක් පමණක් එය තම වාසියට යොදා ගැනීමට උත්සහ කරන්න එපා යැයි ඉල්ලා සිටිනවා. එලෙසම ආනන්දා සුදාකරන්ගේ දරුවන් දෙදෙනාට උදව් කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත්වී සිටිනවා. දැනට එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සියළු දෙනාම උදව් කළ යුතුයි. ඒ අතර, ආනන්ද සුදාකරන් නිදහස්වී පැමිණියේ නම් ඔහුගේ ජීවනෝපාය නඟා සිටුවීමට උදව් කළ යුතුයි“ යැයි පවසා සිටියේය.