SRILANKAN NEWS

දෙ.ජා.ස. ඡන්ද 16 ඉතා වැදගත් – දෙ.ජා.ස. සහ අගමැති අතර කිසිඳු ගිවිසුමක් නැහැ…

උතුරු පළාතේ පවතින ඇතැම් ප්‍රශ්ණ හා ගැටළුවලට විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ මිස, දෙමළ ජාතික සන්ධානය හා අගමැතිවරයා අතර වෙනත් කිසිඳු ගිවිසුමක් නොමැති බව දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

යාපනයේ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. දෙ.ජා.ස. හා අගමැතිවරයා අතර පවතින රහසිගත එකඟතාවය මත, දෙ.ජා.ස. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඔහුට පක්‍ෂව ඡන්ද ප්‍රකාශ කළ බවට දකුණේ මාධ්‍ය හා දේශපාලන බලවේගයන් පවසන්නේ නම් එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයකි.

රටේ පවතින දේශපාලන වාතාවරණය කෙරෙහි අවධානය යොමු කරන විට කිසිවිටක නොවන අයුරින් ප්‍රධාන පක්‍ෂ දෙකක් එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබේ. දෙ.ජා.ස. එයට සහාය පළ කරන අතර, එහි වෙනත් කිසිඳු අරමුණක් නොමැත.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී පමණක් නොව, පාර්ලිමෙන්තුවේදී සෑම කටයුත්තකදීම දෙ.ජා.ස. මන්ත්‍රීරුවන් 16 දෙනාගේ ඡන්දය ඉතා වැදගත් බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.