SRILANKAN NEWS

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අලුත් අවුරුදු දින පණිවිඩය

යුගයෙන් යුගය මානව ශිෂ්ඨාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත්කරමිනි. ලොව විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උළෙල කෙරෙන් පැවසෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපිරිමිත වූ කැපවීමය.

සිංහල- දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන් ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිගවාසීන් වන අප සතු උදරත්වයේ විශිෂ්ඨ පිළිබිඹුවයි. අලුත් අවුරුද්ද යනු, සැබැවින් ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක්, සහිත අලුත් මිනිසකු සමාජයට පිළිගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදෑරීමකට අනුගතව අවුරුදු චාරිත්‍ර සමඟ ගනුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමඟ සමජයට ප්‍රවේශ වන්නේ සාමකාමී සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියෙකු ලෙසිනි.

අන්‍යොන්‍ය බැඳීම් සහ සාමජීය සබඳතා එරබඳු කැකුළු සේ විකසිත කරනු ලබන සිරිත් විරිත් සමඟ බැදුණු අලුත් අවුරුද්ද මිනිස් සිතුවිලි පරාසය පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අවබෝධය සහ අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේ ය.

මුළුමහත් ජන සමාජයකට සාධණීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මෙම මහාසර සංස්කෘතික මංගල්‍ය ගැඹුරින් හදාර,උත්කර්ෂවත් ලෙස සැමරීම කෙරෙන් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකිවනු ඇත.

සොබාදහමත් මිනිසාත් අතර වන ආදිකල්පිත අවියෝජනීය බැඳීම ද මිනිසා සතු කෘතවේදීත්වය පිළිබඳ ආශ්වදනීය කැපවීම ද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වර නැඟෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණ යහපත්කම අප හමුවේ
විදහාලමිනි.

එවන් මහරු සාරධර්මයන් යාවත්කාලීන කරමින් සිංහල-දෙමල අලුත් අවුරුද සමරන එතෙර මෙතෙර වැසි සමස්ත ශ්‍රී ලාංකිකයනට සාමය සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබපැතුම් පිරිනමමි.

මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති

New Year Message 2018 - Si