SRILANKAN NEWS

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාට ජනපති එකිවෙයි..


ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය ඊයේ (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය.

2013 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මෙම මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වජිර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2017 මැයි මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩල සෞඛ්‍ය ඇමතිවරුන් විසින් එක්ව සම්මත කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ පොදුරාජ්‍ය මණ්ඩල ප‍්‍රතිපත්ති රාමුවට එය ඇතුළත් කරන ලදී.

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් ඊට නායකත්වය ලබා දෙන්නේ ද මහාචාර්ය වජිර දිසානායක මහතායි.

මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ ප‍්‍රධාන දේශනය මෝල්ටා උප අග‍්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය Christopher Fearne මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම විශේෂ අවස්ථාවට පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ ගෝලීය සෞඛ්‍ය සේවාවන් පිළිබඳ අවධානය යොමු කිරීමත්, මූල්‍යමය වශයෙන් අපහසුතාවයක් ඇතිවීමට ඉඩ නොතබා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබාදෙන ලෝකයක් බිහිකිරීම බවත්ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැටී‍්‍රෂියා ස්කොට්ලන්ඩඩඩ් මහත්මිය Patricia Scotlund) ප‍්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය සේවා සහ සත්කාර සේවා සැපයීමේදී ඩිජිටල් සෞඛ්‍ය ක‍්‍රමවේදය වඩා වැදගත් අංගයක් වන බවයි.