SRILANKAN NEWS

මේ වසරේ යල කන්නයට අවශ්‍ය පොහොර වලින් 21% ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත

2018 යල කන්නය සඳහා ගොවීන්ට සහනාධාර යටතේ ලබාදෙන පොහොර දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැරීම මේ වන විටත් ක්‍රමානුකූලව සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ඊයේ(15) කරුණු විමසීමක් සිදු කළේ ය. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ, ගොවීන්ට 2018 වර්ෂයේ යල කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වනවිට දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

ඒ ඒ පළාත්වල ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් කරන ලද ඉල්ලීම පරිදි මේ වනවිට යූරියා පොහොර මෙ.ටො. 10,798.96 ක් ද,Triple Super Phosphate (TSP)පොහොර (මඩ පොහොර) මෙ.ටො. 2,903.55 ක් ද Muriate of Potash (MOP)පොහොර (බණ්ඩි පොහොර) මෙ.ටො. 4,332.80 ක් වශයෙන් සම්පූර්ණ පොහොරමෙ.ටො. 18,096.31 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇත.

මින් වැඩිම පොහොර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ නැගෙනහිර පළාතටයි. එම පළාතට යූරියා පොහොර මෙ.ටො. 4,104 ක්, TSP පොහොර මෙ.ටො. 947.8 ක්, MOP පොහොරමෙ.ටො. 1,718 ක් සපයනු ලැබ ඇත. මීට අමතරව උතුරු මැද පළාතට යූරියා පොහොර මෙ.ටො. 2,656, TSP පොහොර මෙ.ටො. 513 ක්,MOP පොහොර මෙ.ටො. 326 ක් ද වශයෙන් වී වගාව සඳහා යවා ඇත.

2018.05.10 දින වනවිටලංකා පොහොර සමාගම මඟින්බෙදාහැර ඇති පොහොර ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවය ගත්විට යූරියා පොහොර 19.8% ක් ද, TSP 21.4% ක් ද, MOP 28.4% ක් ද වශයෙන් සපයා ඇති මුළු පොහොර ප්‍රමාණය සියයට 21.7% කි.

ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථාන විසින් කරන ලද ඉල්ලීම පරිදි අවශ්‍ය පොහොර තොග සහනාධාර වැඩ පිළිවෙල යටතේ ලබාදීම සඳහා අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සියලුම දත්ත ඇතුළත් වාර්තාවක් අමාත්‍යවරයාට ලබාදෙමින් සඳහන් කළේ ය.