ARTICLES SRILANKAN NEWS

MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන් ලෙස පෙනී සිටින්නන් එකිනෙකා පරයා පෝස්ට් දැමූවේ තරගයකට මෙනි.

එම තත්ත්වය තුළ ද මැයි 18වනදා මුල්ලිවෛක්කාල් වෙරළ තීරයට රැස්වූ සිය ගණනක් මිනිසුන්, මරා දැමූ සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දල්වා නිහඩව ‘යුක්තිය’ ප්‍රාර්ථනා කළේය. ඒ කිසිවක් රාජිත ඇමතිවරයාගේ කතාවට රණහඩ දුන් දකුණේ මාධ්‍ය වීරයන්ට මෙන්ම සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන්ට ද පෙනුනේ නැත.

මුල්ලිවෛක්කාල් වෙරළ තීරයේ නිහඩ සිහිකිරීම් නොදුටු ඇතැමුන් එක් දෙයක් දුටුවෝය. එනම්, මුල්ලිවෛක්කාල් සිහිකිරීමට පැමිණි පිරිස සදහා සිසිල් බීම දන්සැල් සංවිධානය කරන හමුදාවය. ඉන් පසුව ඇරඹුනේ ඒ පිළිබදව වන සටහන්ය. ‘බලාපල්ලා අපේ හමුදාව’, ‘ජාතිවාදීන් බලාපල්ලා’ ‘මෙන්න ගුණකරුක හමුදාව’ වැනි හමුදාවේ ‘දන්සැල’ උත්කර්ෂයට නංවමින් නැවත වටයකින් ලියැවෙන්නට පටන් ගත්තේ ය.

සිවිල් වැසියන් ඝාතනය නොවුනා යැයි තර්ක කරමින් ලියන, කියන දකුණේ වීර මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, හමුදාව විසින් මුල්ලිවෛක්කාල් හී වැස්සේ තෙමි තෙමී සිසිල් බීම දුන්නේ යුද්ධයේදී මරා දැමූ සිය සමීපතමයින් සිහිකර එන මිනිසුන්ට බව හැගුනේ නැත.

ප්‍රශ්ණය එයම නොවේ. තවමත් මිනිසුන්ගේ ඉඩම්වල වාඩිලාගෙන සිටින හමුදාව, තවමත් එළෙසම හමුදා කදවුරු පවත්වාගෙන යන හමුදාව, ‘හමුදා බිස්නස්’ තවමත් කරන හමුදාව, මළවුන්ගේ සොහොන් පවා බුල්ඩොසර් කළ හමුදාව, ‘අපි ලග එහෙම ලිස්ට් එකක් නැහැ’ කිලිනොච්චිවලදී හමුදාවට බාර දුන් සිය සමීපතමයින් ගැන විමසු විට පිළිතුරු දුන් හමුදාව, ඇත්තටම මුල්ලිවෛක්කාල් හී මරා දැමූවන් සිහිකිරීමට පැමිණි මිනිසුන්ට දන්සැල් දුන්නේ අයි?

ලංකාවේ සිදුකල යුද්ධය අහිංසක නැති බව කවුරුත් දන්නේය. එයිනුත් ශ්‍රි ලංකා හමුදාවෝ එය හොදින්ම දන්නේය. වෙඩි තැබූ, වෙඩි වැදුනු ආදී බොහෝ තැන් ඔවුන් නොදන්නේ නොවේ. අනෙක් පසින් වෙඩි තබා හෝ මොනයම් ක්‍රමයකින් මිනිසෙක් ඝාතනය කිරීම, මිනිසෙක්ට එතරම් පහසු කාර්යයක් නොවේ. ඝාතනය කිරීමට සදහා විවිධ ක්‍රම මගින් මණස සකස් කිරීම සිදුකලත් පසුව එය නැවත වටයකින් ඝාතකයා ගේ මණස තුළ ඒ ඝාතනයන් මතකයට ඒම වැලැක්විය නොහැකිය.

විශේෂයෙන් ආයුද රහිත මිනිසුන් තමන්ගේ දෙපා අබියස ඝාතනයට ලක්වීම වැනි කෘරර සිදුවීමක්, යටත් වූවන් දූෂණයට ලක්වීමක්, ළමුන් ඝාතනය කිරීමක් ආදී බොහෝ දේ අදාල පුද්ගලයා තුළ නිරන්තරයෙන් ම ඔහුගේ මනස හි නැවත නැවතත් චිත්‍රණය වීම වැලැක්විය නොහැකියි. එවිට ඒ මතකයන්ගෙන් ගැලවීම/මිදීම පහසු කටයුත්තක් නොවේ. මේ තත්ත්වය ‘ක්ෂතිමය අත්දැකීමක්’/ Traumatic Experience බව විද්‍යාර්තයන් පවසන්නේ එබැවිනි.

‘මට ගෙදර ආපුවාම නින්ද යන්නේ නෑ හලෝ’ 2007 වර්ෂයේ ඥාති සොහොයුරෙක් කිවේය. ඒ ඔහුට සෑම විටම ගෙදර ආ විගස යුද්ධයේ බිහිසුණු ක්‍රියාවන් මතකයට නැගෙන බව ඔහු කීවේය. මෙය සරලව කිවහොත්, උතුරේ ප්‍රශ්ණය මිලිටරි ලෙස විසදන ලද්දේ විශාල මිනිස් සමූහයකගේ මළකදන් මතින් බව දකුණේ සිංහල මිනිසා හොදින්ම දන්නේය. මේ නිසා ඒ පීඩාකාරී, කම්පනිත නැතිනම් වරදකාරී හැගීමෙන් නිදහස් වීම සදහා දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ක්‍රියාවන් ඔවුන් විසින් සිදුකරයි

එකක් නම්, ‘නෑ අපි එහෙම දෙයක් සිදුකළේ නැහැ’ යන්න හැකි තරම් සමාජගත කරමින් එය උත්කර්ශයට නංවමින් කිසියම් මානසික සුවයක් ලගා කර ගැනීමට උත්සහ කිරීමයි. ඒත් සමග අතීත වීරක්‍රියා උත්කර්ශයට නංවමින්ම ‘අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්’ ‘අපේ රජවරුන් මෙසේයි’ ‘අපිට 2500ක ඉතිහාසයක් තියනවා’.. වැනි මනෝමය තත්ත්වයන් ද ඉදිරියට දමමින් එය මානසිකව වෙනස් කරගැනීමකට උත්සහ දරයි. (2009 මැයි 19න් පසු හමුදා නායකයෝ සහ රාජපක්ෂලා මේ ක්‍රමය යම් පමණකට අත්හදා බැලුවේය. පසුගිය දා කැළනියේ පැවති ‘විරුවන් සැමරුමේදී’ කමල් ගුණත්න ද එවැනි අදහසක් ප්‍රකාශ කළේය)

හිංසාව, ඝාතනය සම්පූර්ණයෙන් පිටුදකින කිසියම් ආගමික භාවිතාවක් සිය දෛනික කටයුතුවලට ඉතා සෘජු ලෙස සම්බන්ධ කර ගැනීම තවත් එක් ක්‍රමයකි.( උතුරේ සෑම හමුදා කදවුරක් ඉදිරියේම ඉතාමත් අලංකාරව තැනූ බුදු මැදුරු, ඇතැම් විට පංසල්, රජමහා විහාරවල නම් යෙදු විශාල පිළිම ආදිය ද දැකිය හැකිය. ඒ එයට උදාහරණය.) කිසිදු බෞද්ධයෙක් නැති ඒ ප්‍රදේශවල තමන් ම තැනූ පංසල්/බුදුමැදුරු තුළ තමන්ම සුදු වතින් සැරසී සිල් ගන්නා ආකාරයත්, බුදුන් වන්දනා කරන ආකාරයත් අද ද නිරීක්ෂණය කළ හැකිය

තවත් ක්‍රමයක් නම්, තමන් විසින් පීඩාවට පත්ව කිසියම් පුද්ගලයෙක්, සමාජයක් සමග සුහද, මිතුරු, සම්බන්ධයක් පවත්වා ගැනීමට හැම විටම උත්සහා ගැනීමයි. පසුගිය වසර කිහිපය තුළ උතුරේ හමුදාවේ ක්‍රියාකාරකම් බලන්න. පෙර පාසල්වලට තැගී දීම, පාසල් ළමුන්ට තෑගි දීම, වෘත්තිය පුහුණු පැවැත්වීම, ශ්‍රමදාන පැවැත්වීම, අවුරුදු උළෙලවල් පැවැත්වීම, තොරණ් ගැසීම, බක්ති ගීත ගායනා කිරීම, කෝවිල්වලට සිමෙන්ති ලබාදීම, පැළ බෙදා දීම ආදී බොහෝ දේවල් සිදුකලේය. (මෙයින් බොහෝ දේවල් රාජ්‍යයේ පරිපාලන නිළධාරීන් විසින් කළ යුතු දේවල්ය. නමුත් උතුරේ පරිපාලන දේවල් බොහොමයක් කරන්නේ හමුදාවය. ඒ ඇයි?)

#MAY18 | මැයි 18 හමුදාව දුන් ‘දන්සැලත්’ එැවන්නකි.

By – www.vikalpa.org