SRILANKAN NEWS

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් පැහැරගැනීමේ සිද්ධියේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

ළමයින් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කප්පම් ලබාගැනීමට තීරණය කරමින් දුරකථන ඇමතුම් ලබාදීම සහ ළමයින් පැහැරගැනීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ළමයින් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සේවය කළ බල නැවියකු වන සංජීව ප්‍රසාද් දිලංක සේනාරත්න නමැත්තා සහ ළමයින් මුදාහැරීම සඳහා මුදල් ලබාදෙන ලෙසට දුරකථන පණිවුඩ ලබාදෙමින් කප්පම් ලෙස මුදල් ලබාගෙන ඇති නාවික හමුදාවේ සුළු නිලධාරියකු ලෙස සේවය කරන ඉඹුලානගේ උපුල් චමින්ද හෙවත් “අන්නච්චි” නමැත්තාය.

පැහැරගත් ළමයකුගේ මවකගෙන් කප්පම් ලබාගැනීමට ගොස් සිටිදී උපුල් චමින්ද හෙවත් අන්නච්චි නමැත්තාව අදාළ ළමයාගේ මව විසින් දැක තිබීම මත “අන්නච්චි” නමැත්තා පමණක් ලබන මස 09 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

2008 වසරේ අගෝස්තු – සැප්තැම්බර් අතර කාල සීමාව තුළදී පාසල් ළමයින් පස්දෙනා ඇතුළු තරුණයින් 11 දෙනා පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

එම නිලධාරීන් දෙදෙනාට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් වශයෙන් සේවය කළ ලුතිනන් කමාන්ඩර්වරුන් තිදෙනෙක්, නාවික හමුදාවේ බල නැවියෙක් ලෙස සේවය කළ අයෙක් නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙක් සහ නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙක් චෝදනා ලැබ සිටිති.

Tags